අතුරුදන්වූ MH370 යානයේ බවට සැක කෙරෙන කොටසක් හමුවේ
පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු 8 වන දා ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියානු ගුවන් යානයේ බවට සැක කෙරෙන කොටසක් හමුවී තිබේ.
ඉන්දියානු සාගරයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි දූපතක් වන ලාරී යූනියන් අසලින් මෙම කොටස් හමුවී තිබේ. බොයිං 777 වර්ගයේ ගුවන් යානයක පියාපත් බවට බැලූ බැල්මට හඳුනාගත හැකි මෙම කොටස් මීටර් 2 ක් පමණ දිගකින් යුත්තයි.
මෙම ගුවන් යානයේ කොටස අතුරුදන් වූ යානයේ කොටසක්දැයි තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ කණ්ඩායමක් පිටත් කර යැවීමටද සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මැලේසියානු ගුවන් සමාගම පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන තුරු නිවැරදි තොරතුරු ඉදිරිපත් කළ නොහැකි බවයි.
ඉකුත් වසරේදී මාර්තු මස 08 වැනිදා මගීන් 238 දෙනෙකු රැගෙන ක්වාලාලාම්පූර් නුවර සිට පියාසර කරමින් තිබියදී පැය දෙකක් පමණ ගතවී යානය අතුරුදහන් වූයේ කිසිදු සාක්ෂියක් ඉතුරු නොකරමින්. අමෙරිකාව ඇතුළු ලෝකයේ රටවල් රැසක් මෙම යානය සොයා එහි ගමන් මාර්ගයේ විවිධ ස්ථාන සෝදිසි කරමින් පරීක්ෂණ සිදු කළත් යානයට වූයේ කුමක්ද යන්න පිළිබඳව සැළකියයුතු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.