අනුරපුර රාත්‍රී සමාජ ශාලා හිමිකරුගේ ඝාතන පරීක්ෂණ ඇරඹේ

null

අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියදර්ශනී කාරියවසම්, අනුරාධපුර මූලස්ථාන පොලීසියට නියෝග කර තිබේ. ඒ, අද පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පත්කර ඇත.

ඊයේ රාත්‍රී 11.45ට තියුණු ආයුධ අතැතිව මුහුණු ආවරණය කරගෙන පැමිණි 20 දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් මෙම රාත්‍රී සමාජශාලාවට ඇතුළු වී පළමුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර අනතුරුව එම පිරිස සමාජ ශාලාවේ දේපළවලට ද හානි කරමින් එහි සේවකයින්ට ද පහර දී ඇති බවයි වාර්තා වේ.

සමාජ ශාලාවේ හිමිකරු එම අවස්ථාවේ වෙනත් කාමරයක රැදී සිට ඇති අතර, ආරක්ෂිත කැමරා පද්ධතියෙන් සිද්ධිය නිරීක්ෂණය කර සමාජ ශාලාවේ ඉදිරිපසට පැමිණ තිබේ. එම අවස්ථාවේ පැමිණි පිරිස මොහු වට කර බිම වැටෙන තුරු පොලූවලින් සහ කඩුවලින් දරුණු ලෙස පහර දී ඇති බවයි පොලීසිය සදහන් කරයි. අනතුරුව පැමිණි පිරිස කළමනාකරුගේ ලාච්චුවේ තිබූ මුදල් ද විදේශීය මත්පැන් බෝතල් ද කොල්ල කා පැමිණි ලොරියක් වැනි වාහනයකින් පළා ගොස් ඇත. එසේ යන අවස්ථාවේදී ඔවුන් සමාජ ශාලාව අසළ නවතා තිබූ වාහනවලට ද හානි කර තිබේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ අදාළ සමාජ ශාලාවේ හිමිකරු වන වසන්ත සොයිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිට ඇත. මෙහිදී බරපතල තුවාල ලැබූ සමාජ ශාලාවේ කළමනාකරු සහ තවත් සේවකයින් දෙදෙනෙකු මේ වන විටත් එම රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඝාතනයට පැමිණි සැකකරුවන්ට අයත් යැයි සැක කෙරෙන මුහුණු ආවරණ සහ අත් ආවරණ කිහිපයක් ද උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල ආසන්නයේ දමා ගොස් තිබියදී පොලීසිය අද උදෑසන සොයා ගෙන තිබේ. මෙම සැකකරුවන් පොහොර උරවලින් සැරසී සිට ඇති බව සිසී ටිවී දර්ශන මගින් අනාවරණ වී තිබේ.

ආරක්ෂිත කැමරාවල පටිගත වී ඇති දර්ශන උපයෝගී කර ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

ඊයේ රාත්‍රී සිදුවූ පහරදීමෙන් ඝාතනයට ලක්වූ වසන්ත සොයිසා 57 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙක්. මොහු ගිනස් වාර්තා කිහිපයකට ද හිමිකම් කියන අතර, ගැටුම ඇති වූ සමාජ ශාලාවට එරෙහිව පසුගිය කාලවකවානුවේදී ආගමික නායකයින් ඇතුළු ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතා ද එල්ල විය. ඒ, අනුරාධපුර පූජා නගරය ආසන්නයේ මෙවැනි සමාජ ශාලාවක් පවත්වාගෙන යාම හේතුවෙන්. එසේම ඝාතනයට ලක්වූ වසන්ත සොයිසාට එරෙහිව අනුරාධපුර අධිකරණයේ නඩු කිහිපයක් ද විභාග වෙමින් පවති. මෙම සමාජ ශාලාවට පැමිණි ගනුදෙනුකරුවෙකුට පහර දී ඔහුගේ රන් භාණ්ඩ කොල්ලකෑමේ නඩුවක් ද ඊට අයත් බව වර්තා වෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>