ඇඹිළිපිටියේ ගැටුමේ ඇත්ත නැත්ත

null

ඇඹිළිපිටිය ප්‍රදේශයේ පැවති සාදයක ඇතිවූ ගැටුමක් අවසානයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හා සාදයට සහභාගීව සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකෙරුණි.

තුවාල ලැබූ එක් පුද්ගලයකු ඊයේ (07) අළුයම මියගිය අතර ඒ හේතුවෙන් පොලිසියට එරෙහිව ඇඹිළිපිටිය නගරයේ කළුකොඩි ඔසවා විරෝධතාවයක්ද පැවැත්වූහා.

මෙසේ මියගියේ 29 හැවිරිදි සුමිත් ප්‍රසන්න ජයවර්ධන නමැති තරුණයා යි. වෘත්තියෙන් රියෑදුරුවරයකු වු ප්‍රසන්න ජයවර්ධන ඇඹිලිපිටිය නගරයේම පදිංචිකරුවෙකි.

ඉකුත් 04 වැනිදා රාත්‍රි ඇඹිලිපිටිය නගරයේ නිවසක පැවති කොටහළු මංගල සාදයකදී බීමත් වූ පිරිසක්‌ ගීත ගයමින් ඝෝෂාකරන බවට ඇඹිලිපිටිය පොලිසිය වෙත ලැබුණු 119 හදිසි ඇමතුමක්‌ ඔස්‌සේ නිලධාරීන් දෙදෙනකු එහි පැමිණ තිsබේ.

පොලිස්‌ නිලධාරීන් මංගල සාදය පැවති ස්‌ථානයට පැමිණ ඝෝෂා කිරීම නතර කරන ලෙස එහි සිටින පිරිසට දැනුම් දී ඇත. එහෙත් බීමත්ව සිටි පිරිස පොලිස්‌ නිලධාරීන්ගේ නියෝගවලට කන් නොදී ඔවුන් සමඟ ආරවුලක්‌ ඇති කරගෙන තිබිණි. පොලිස්‌ නිලධාරීන් දෙදෙනා බීමත්ව සිටි පිරිස පාලනය කර ඔවුන්ට කරුණු අවබෝධ කරදී එම ස්‌ථානයෙන් පිටව ගොස්‌ ඇත.

සුළු වේලාවකට පසු ඇඹිලිපිටිය පොලිසිය වෙත නැවතත් දුරකථන ඇමතුම් කීපයක්‌ ලබාදී ඇති ප්‍රදේශවාසීන් මංගල සාදයේ දෙපිරිසක්‌ අතර ගැටුමක්‌ හට ගෙන ඇති බව පවසා තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ ඇඹිලිපිටිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ එහි පැමිණ ගැටුමට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගෙන ඇත.

ඒ අවස්‌ථාවේ පොලිස්‌ නිලධාරීන් සහ මංගල සාදයේ සිටි පිරිස්‌ අතර ඇතිවූ බහින්බස්‌වීම ගැටුමක්‌ දක්‌වා දුරදිග ගොස්‌ තිබේ. මංගල සාදයේ සිටි කීපදෙනකු පොලිස්‌ නිලධාරීන්ට පහරදී පලායැමට උත්සාහ කර ඇති අතර පොලිස්‌ නිලධාරීන් ඔවුන්ට ප්‍රති ප්‍රහාර එල්ල කර ඇතැයි පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසකට බීමත් පිරිසක්‌ පහර දෙන බවට ලැබුණු තොරතුරු අනුව ඇඹිලිපිටිය සහකාර පොලිස්‌ අධිකාරි ධර්මරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ද එම ස්‌ථානයට පැමිණ ඇත.

කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් හත් දෙනකුද පොලිස්‌ භාරයට ගෙන තිබිණි.

ඒ වනවිට පොලිස්‌ නිලධාරීන් සිව්දෙනකු සහ සාදයට පැමිණ සිටි පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා සිට ඇත.

සිද්ධියට මුහුණ දුන් පුද්ගලයන්ගේ පවුලේ ඥතීන් චෝදනා කරන්නේ පොලිස්‌ නිලධාරීන් ප්‍රසන්න ජයවර්ධනට පහරදී ඔහු නිවසේ උඩුමහලේ සිට පහළට තල්ලුකර දැමූ බවයි.

ප්‍රසන්න ජයවර්ධන ඇදවැටුණ බව කියන ස්‌ථානයේ විශාල ලේ පැල්ලමක්‌ද තිබූ බව නගරවාසීහු පවසති.

එමෙන්ම පොලිස්‌ නිලධාරීන් මංගල සාදයට පැමිණ මත්පැන් බෝතල් දෙකක්‌ ඉල්ලා සිටි බවත් එය ලබා නොදීම නිසා කෝපයට පත්ව තමන්ට පහර දුන් බවත් සාදයට පැමිණ සිටි අය ප්‍රකාශ කර සිටියි.

එහෙත් නිවෙස්‌ හිමියන් සහ මෙම සිද්ධියට මුහුණ පෑ පුද්ගලයන් පොලිසියට එල්ල කරන සියලු චෝදනා පොලිස්‌ මූලස්‌ථානය ප්‍රතික්‍ෂේප කරයි.

ඇඹිලිපිටිය පොලිසිය පවසන්නේ පොලිස්‌ නිලධාරින්ට පහරදුන් පුද්ගලයන් අමතර පොලිස්‌ කණ්‌ඩායමක්‌ පැමිණෙද්දී පොලිසියෙන් බේරීමට පලා ගිය බවයි.

එසේ පලා යමින් සිටි තරුණයකු ගොඩනැඟිල්ලේ උඩුමහලින් බිමට වැටී බරපතල තුවාල ලබා සිටි බවද පොලිසිය පවසයි.

ප්‍රසන්න ජයවර්ධන දිවයද්දී ගොඩනැඟිල්ලේ උඩුමහලේ තිබූ විශාල වීදුරුවක්‌ බිඳී ඔහුගේ එක්‌ අතක බරපතල කැපුම් තුවාලයක්‌ද සිදුවී තිබූ බව පරීක්‍ෂණවලදී හෙළිවීය.

මෙම සිද්ධියේදී බරපතල තුවාල ලැබූ ප්‍රසන්න ජයවර්ධන ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යෑවීමට රෝහල් බලධාරීහු පියවර ගත්හ.

එහෙත් ප්‍රසන්න ජයවර්ධන ජාතික රෝහල කරා ගෙන යද්දී ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වීම නිසා රත්නපුර රෝහලට ඇතුළත් කරන ලදී. රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රසන්න ඊයේ අලුයම මිය ගියේය.

ප්‍රසන්න ජයවර්ධන ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් විසින් පහරදී ඝාතනය කළ බවට චෝදනා කරමින් අසල්වාසීන් සහ නගරවැසියන් එක්‌ව ඊයේ පෙරවරුවේ දැවැන්ත විරෝධතා පෙළපාලියකට එක්‌ව සිටියහ.

ගැටුමට හේතුව මුලින් එහි පැමිණි පොලිස් නිලධාරීන් අරක්කු ඉල්ලා සිටිම බවත්, ඔවුන්ට දීමට අරක්කු නොතිබූ බවත්, ගැටුමට හේතුව එය බවත් අදාල සාදය පැවැත්වූ පාර්ශවයෙන් චෝදනා කර තිබුණි.

කෙසේවෙතත් එම සාදයේ සිටි පුද්ගලයෙකු එම චෝදනාව අසත්‍ය බවට මෙසේ ප්‍රකාශයක් සිදුකර තිබේ…

“රාත්‍රී දොළහෙන් පසු ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාවිරහිත කරන ලෙස නියෝග කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් හතර දෙනාගෙන් අයෙකුට පහර දී නිල ඇඳුම ඉරා තුවක්කුව උදුරා ගැනීමෙන් පසු මෙය ආරම්භ උනා. පසුව තුවක්කුව නැවත පොලිසියට ලබා දීමට එතන සිටි වැඩිහිටියෙකු ක්‍රියා කළා.

පසුව මියගිය පොඩි වෙදා හෙවත් සුමිත් ප්‍රසන්න ඉතාම පහත් ආකාරයට පොලිසියට බනිමින් හැකිනම් උඩ තට්ටුවට එන ලෙස අභියෝග කළා. ආවොත් කෑලි වලට කපා දමන බවත් පොලිසියට තර්ජනය කළා. පසුව පැමිණි පොලිස් ජීප් රථ දෙකේ සිටි නිලධාරීන් සහ බිමත් පිරිස අතර දරුණු ගැටුමක් ඇති උනා. ප්‍රහාරයේදී පොලිසිය ඉතාම සාර්ථක උනා.

මියගිය පුද්ගලයා මුලින් කෑගසා තර්ජනය කළත් පසුව පහර කා දිව්වා.. ඔහු නොදුටු ශාලාව හරහා තිබු දැවැන්ත ඝන විදුරු තහඩුවේ වැදුණු ඔහු බිඳුණු විදුරු වලට කැපුණු ශරීරය පුරාම ලේ ගලන තුවාල සහිතව අසිහියෙන් මෙන් ගමන් කොට තට්ටුවේ අනාරක්ෂිත කොටසින් පහලට වැටුනා. මා එම සාදයේ සිටියා.“

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>