ඇල්පිටියේදී දිගට හරහට වෙඩි තබා තරුණයන් 2ක් ඝාතනය කරලා
ඌරගස්මංහන්දිය රන්කොටුවිල මාලවල ප්‍රදේශයේ යතුරුපැදියක යමින් සිටි තරුණයන් දෙදෙනකු ඊයේ (03 වැනිදා) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කර ඇත.
තරුණයන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය පසුපස තවත් යතුරුපැදියකින් පන්නාගෙන ආ සන්නද්ධ පුද්ගලයන් සිදුකළ වෙඩි තැබීමෙන් මොවුන් මියගොස් තිබේ. පරණ කෝන්තරයක් මත ඌරගස්මංහන්දිය ප්‍රදේශයේම පදිංචි ඉන්දික නමැති පුද්ගලයකු මෙම ද්විත්ව ඝාතන සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත.
මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි උෂාන් රන්දික සහ 23 හැවිරිදි සුරංග විඡේසුන්දර යන දෙදෙනා බව හඳුනාගෙන තිබේ. මෙම තරුණයන් දෙදෙනාම ඉහළ මාලේවෙල පදිංචි අවිවාහකයන්ය.
පරීක්ෂණවලින් හෙළිවී ඇති අන්දමට ඝාතකයන් පැමිණ ඇත්තේ සුරංග විඡේසුන්දර නමැත්තා ඝාතනය කිරීම සඳහාය. ඒ අවස්ථාවේ සුරංග සමඟ යතුරුපැදියේ ගමන් කළ උෂාන් ද වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් තිබේ.
නීති විරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් ඉන්දික සහ සුරංග අතර කලක පටන් ආරවුල් තිබී ඇත. මෙම ඝාතනයට ආසන්නතම හේතුව වී ඇත්තේ ද එම ආරවුල බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ඝාතනයට ලක්වූ උෂාන් නමැත්තා පින්තාරු ශිල්පියකු ලෙස රැකියාව කරන අයෙකි. ඊයේ පෙරවරු 9.00 ට පමණ මොවුන් දෙදෙනා යතුරුපැදියක නැඟී අලුත්ගම දෙසට යමින් සිටියදී ඒ පසුපස යතුරුපැදියකින් පන්නාගෙන ආ සන්නද්ධ පුද්ගලයා මඟ හරස් කර ඔවුන්ට වෙඩි තබා පලාගොස් තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් තරුණයන් දෙදෙනා සිද්ධිය වූ ස්ථානයේම මියගොස් ඇත. ඝාතනය සඳහා මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ භාවිත කළ හැකි ගිනි අවියක් යොදාගෙන ඇති බව පරීක්ෂණවලින් හෙළිවී ඇත.
ඝාතනය සිදුකර පලාගිය සැකකරුවන් සෙවීම සඳහා ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. එන්. සිසිර කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවනු ලැබුවද ඊයේ දහවල් වනතුරත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.
සහකාර පොලිස් අධිකාරි ඩී. එච්. එස්. පුස්සැල්ල මහතාගේ උපදෙස් මත ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.
(දිවයින)