ඔබාමා නිතර රැගෙන යන දෑ අතර බුදු පිළිමයක්
ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා තමන් නිතර රැගෙන යන තෑගි භාණ්ඩ අතර කුඩා බුදු පිළිමයක්ද පවතින බව අනාවරණය කර තිබේ.
ඒ පසුගියදා youtube ජාලයේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. ඔහු එහිදී පෙන්වා දුන්නේ තම ජීවිතයේදී විවිධ පුද්ගලයන් ලබාදුන් ත්‍යාග කලිසම් සාක්කුවේ දමා රැගෙන යන බවයි.
ඒ අතර අතර මෙම බුදු පිළිමයද නිරන්තරයෙන් තමා ළඟ තිබෙන බව පවසා ඇත. ඔබාමා වැඩිදුරටත් පවසන්නේ තමාට මුණ ගැසුණු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් මෙම කුඩා බුදු පිළිමය තමා වෙත පිරිනැමූ බවයි.
එම සිහිවටන ද්‍රව්‍ය සිය කලිසම් සාක්කුවෙන් පිටතට රැගෙන පෙන්වු ජනාධිපති ඔබාමා සඳහන් කලේ ආශීර්වාද පිණිස සහ සිහිවටන වශයෙන් තමාට මෙම ද්‍රව්‍ය ලැබුනු බවයි.
මේවා අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලබාදුන් කිතුණු නවගුණ වැලක් / කාන්තාවක් ලබාදුන් හනුමාන් පිළිරුවක් සහ ඉතියෝපියා සංචාරයකදී ලැබුනු කුරුසයක් ද වෙයි.
තමා අන්ධභක්තිකයෙකු නොවන බව පවසන ඔබාමා, මේ දේවල් නිරන්තරයෙන් තමා ළඟ තිබිය යුතු බවට හැඟීමකින් තමා පසුවන බවද මෙහිදී පවසා තිබේ.
තමාට විඩාව දැනුනු අවස්ථාවක හෝ අධෛර්යයට පත්වු අවස්ථාවක තමා මෙම සිහිවටන සමග කටයුතු කරන ආකාරය ඔබාමා පැහැදිළි කලේ මෙලෙසින්.
“මට විඩාව දැනුනු අවස්ථාවක හෝ අධෛර්යයට පත්වු අවස්ථාවක මම මගේ සාක්කුව දෙසට අත යොමු කරලා කියනවා ඔව් මට මේකෙන් ජය ගන්න පුලුවන්. මට විශේෂ අවස්ථාවක් ලබාදී තිබෙනවා මිනිසුන්ට බලපාන ගැටලු විසඳීම සඳහා කටයුතු කරන්න. ඒ නිසා යළිත් මම මගේ රාජකාරියට යා යුතුයි.”