කඩුවෙල වෙඩි තැබීම අස්සේ සිරකරුවෝ දෙන්නෙක් පනී
කඩුවෙල අධිකරණ සංකීර්ණයේදී අද (23) සිදුවූ වෙඩි තැබීමත් සමග බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි සිරකරුවන් දෙදෙනෙක් පැනගොස් තිබේ.
වෙඩි තැබීමත් සමග ඇතිවූ කලබලකාරී තත්වය ප්‍රයෝජනයට ගෙන සිරකරුවන් දෙදෙනා නිලධාරීන්ගෙන් මිදී මෙලෙස පලාගොස් තිබේ.
මෙම සිරකරුවන් දෙදෙනාම කිසියම් නඩු කටයුත්තක් සඳහා වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සිට රැගෙන ආ අයයි.
අදාළ වෙඩි තැබීමෙන් තවත් සිරකරුවෙකු වන අරුණ ලක්ෂ්මන් උදය ශාන්ත නොහොත් බටේවල සමයං නමැත්තා තුවාල ලැබුවේය. ඔහු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වැඩබලන පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේය.
බටේවෙල සමයං නමැත්තා සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු බවද මිනී මැරුම් සහ කොල්ලකෑම් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇතැයි ද සඳහන්.
‘සමයං’ නමැති පාතාල සාමාජිකයා අධිකරණ සංකීර්ණය වෙත රැගෙන එන අවස්ථාවේ එම ස්ථානයේ බංකුවක් මත අසුන්ගෙන සිටි පුද්ගලයෙකු එක්වරම වෙඩි තැබීම සිදුකර තිබෙන අතර අධිකරණයේ දෙවැනි මහලේ පියගැටපෙළ අසළදී පිස්තෝලයකින් වෙඩි තැබූ බව පැවසෙන පුද්ගලයා එම අවස්ථාවේ එම ස්ථානයේ ඇද වැටී ඇති අතර යළි නැගිට පලාගොස් ඇත.
එම සැකකරු පැමිණ ඇත්තේ පිස්තෝලය අතේ බැන්ඩේජ් පටියකින් ඔතාගෙන බව සඳහන්. එම ස්ථානයේ වැටී තිබූ පිස්තෝල කවරය හමුව තිබේ. අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.