කාන්තාවකට අමානුෂික ලෙස පහරදුන් පොලිස් නිලධාරියා
පසුගිය කාලයේ වාරියපොළදී තරුණියක් තරුණයෙකුට පහරදෙන සිද්ධියක වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වීමෙන් එම සිද්ධිය රට පුරා අන්දොලනාත්මක සිද්ධියක් බවට පත්විය. නැවතත් එවැනි වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබේ. ඒ පොලිස් නිලධාරියෙකු කාන්තාවකට අමානුෂික අන්දමට පහර දෙන දර්ශන ඇතුලත් එකකි.
මෙය සිදුවී තිබෙන්නේ රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පළ ආසන්නයේදීය. පොලිස් නිලධාරියෙකු කාන්තාවකට වේවැලකින් පහරදෙන අතර බිම වැටී සිටින එම කාන්තාව තමාට පහර නොදෙන ලෙස පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා සිටින අයුරු එම දර්ශනයේ ඇතුළත්. එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු මෙම දර්ශනය සිය ජංගම දුරකථනයෙන් රහසිගතව පටිගත කර අන්තර්ජාලයට මුදා හැර තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසා ඇත්තේ බස් නැවතුම්පළ ඉදිරිපිට කාන්තාවන් දෙදෙනෙකු අතර බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකට රත්නපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු මැදිහත් වී ඇති බවයි. කෙසේ වෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
එමෙන්ම රත්නපුර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී පාලිත ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ වීඩියෝව නැරඹු නමුත් මෙම පොලිස් නිලධාරියා කවුරුන්ද? කුමන පොලිසියක සේවය කරන අයෙක්ද යන්න තවමත් හඳුනාගෙන නොමැති බවයි. මෙම පොලිස් නිලධාරියා හඳුනාගැනීමට විමර්ශනය කරන අතර ඔහු වරදක් කර ඇති බව ඔප්පු වුනොත් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවද ඒ මහතා පවසා ඇත.