කොටකෙතන කාන්තාවක් ඝාතනය කළ සැකකරු දැලේ
කොටකෙතන ඕපාතවත්තේදී අභිරහස් අන්දමින් කාන්තාවක් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (11 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු නීල් ලක්ෂ්මන් නොහොත් මහත්තයා නමැති අයකු බව පොලිසිය පවසයි. 38 හැවිරිදි වියේ පසුවන මොහු තිදරු පියෙකි.
කොටකෙතන ඕපාතවත්තේම කම්කරුවකු ලෙස ජීවත් වී ඇති මොහු ඉකුත් නොවැම්බර් මස 18 වැනිදා මෙම ඝාතනය සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙහිදී ඝාතනයට ලක්වූටේ 49 හැවිරිදි නාදන් බාබු නමැති දෙදරු මවකි.
තේ දලු නෙලීමෙන් පසු සිය නිවස බලා යමින් සිටි කාන්තාව සැකකරු විසින් කපා කොටා ඝාතනය කර තිබිණි.
සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ කාන්තාව සතු රන් ආබරණ සහ මුදල් කොල්ලකෑම සඳහා ඇය මරා දැමූ බවයි.
එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සැකකරු කහවත්ත ප්රදේශයේ සිදු වූ තවත් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ආමන්ත විඡේසේකර, කහවත්ත පොලිස් ස්ථානාධිපති රොහාන් ඕලුගල ඇතුළු නිලධාරීන් පිරිසක් මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම අපරාධකරු අත්අඩංගුවට ගනීමට හැකිවිය.
(හේමන්ත රන්දුණු, ප්රදීප් ප්රසන්න සමරකෝන්)