කොණ්ඩයා පෙම්වතිය ගැන කියයි
කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනයත් සමඟ සමාජයේ කතා බහට ලක් වූ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ඇප ලබා ඊයේ (23) මහර බන්ධනාගාරයෙන් නික්ම යාමෙන් පසු කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්විය.
ඒ, ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් කිහිප දෙනෙකු ද සමඟයි.
තමා සේයා දැරිය ඝාතනයේ වගකීම බාරගනිමින් පාපොච්චාරණයක් නොකළ බවත්, සිදුවූයේ පොලීසිය විසින් කළ පහරදීම් දිගින් දිගටම ඉවසිය නොහැකි නිසා ඔවුන් විසින් ලියාදුන් ලියවිල්ලකට අත්සන් කිරීම පමණක් බව කොණ්ඩයා හෙවත් දුනේශ් ප්‍රියශාන්ත එහිදී ප්‍රකාශ කර තිබේ.
තමා කැළයක සැඟවී නොසිටි බව ප්‍රකාශ කළ ඔහු මිතුරෙකුගේ කුඹුරක වැඩ කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන පසුව බරපතල ලෙස පහර දුන් බවත් පවසයි.
“කොණ්ඩයා”යනුවෙන්ද තමාට කිසිවෙකුත් ආමන්ත්‍රණය නොකළ බවත්, යාළුවන් ‘දුනේශ්’ලෙසත්, ඇතැම් අය ’පොඩී’ ලෙසත් තමාට ආමන්ත්‍රණය කළ බවත්, ‘කොණ්ඩයා’යන නම මුළුමනින්ම මාධ්‍ය මගින් නිර්මාණය කරන ලද්දක් බවත් ඔහු පෙන්වාදී තිබේ.
දුනේෂ් ප්‍රියශාන්ත තමන්ට එරෙහි චෝදනා ගැන සහ තම පෙම්වතිය පිළිබඳව ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේ මාධ්‍යවේදීන් ඒ පිළිබදව කරුණු විමසූ අවස්ථාවේදියි. කටුගස්තොට ප්‍රදේශයේ තමාට පෙම්වතියක් සිටි බවත්, මෙම සිද්ධිය නිසා ඇය තමා අතහැර ගිය බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
දුනේෂ් ප්‍රියශාන්ත කිසිදිනෙක සේයා දැරිය දැක නොමැති බව ද මෙහිදී ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. එදා සිදුවීම වූ දිනයේ තමාත්,අයියාත්,මස්සිනාත් නිවසේ මත්පැන් පානය කොට රාත්‍රී ආහාරය ගෙන නිදාගත් බවත්, රාත්‍රී10.30 ට හෝ 11.30ට පමණ අයියා තමාගේ ඇඟටද උඩින් පැන කොහේදෝ යන්න ගිය බවත්, ඔහු කොහේ ගියේදැයි කුමකට ගියේදැයි තමන් නොදන්නා බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.
මෙම මාධ්‍ය හමුවට එක්වුණු නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා කියා සිටියේ ගම්පහ අධිකරණයේ පැවතියේ නිවසකට අයුතු ඇතුළුවීම, අයුතු ඇතුළුවී පහරදීම යන චෝදනාවන්ට වරෙන්තු හා අත්තනගල්ල අධිකරණයේ පැවතියේ සොරකමක් සම්බන්ධ නඩුවක් පමණක් බවයි.
බාලඅපචාර හෝ වෙනයම් බරපතළ සිදුවීම් සම්බන්ධයෙන් මොහුට එරෙහිව නඩු හෝ වරෙන්තු කිසිවක් නොමැති බව තමා ඉතාමත් වගකීමෙන් යුතුව කියන බව උදුල් ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් පවසයි.