කොස්ලන්ද නාය යයි – 300 අතුරුදහන්
Posted in What's Hot? By Reporter On October 30, 2014ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නාය යෑම් ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය සනිටුහන් කරමින් කොස්ලන්ද මීරියකන්ද තේවත්තේ කිලෝමීටර් දෙකක් පමණ ඊයේ (29) උදෑසන 7.45ට පමණ නාය ගොස් තිබේ. මෙම ගම්මානයේ 350ක් පමණ පිරිස වාසය කර ඇති අතර රැකියාවට ගිය පිරිසක් හා පාසල් ගිය දරුවන් 70 ක් පමණ දිවි බේරා ගන්නට ඇතැයි සහන සේවකයෝ කියති. දැනට මියගිය පුද්ගලයින්ගේ සිරුරු 10ක් සීයාගෙන ඇති අතර අතුරුදහන්වුවන්ගේ ගණන 300ක් පමණ වන බව වාර්තා වේ.
ගමේ පදිංචි දිවි බේරාගත් තවත් කිහිප දෙනකු පැවසුයේ ‘ගමේ සමහර ගෙවල් අඩි සීයයක් පමණ පස් කන්දෙන් යට වී ඇති බවයි. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක එම්.එල්. උදයකුමාර මහතා පවසා ඇත්තේ නායයෑම හේතුවෙන් මීරියබැද්ද වත්ත ගම්මානය සම්පූර්ණයෙන් යටවී ඇති බවත්, එම ගම්මානයේ ඒ වන විට සිටි කිසිදු පුද්ගලයෙකු ජීවතුන් අතර සිටින බවට විශ්වාස කළ නොහැකි බවත්ය.
සිද්ධියෙන් විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සඳහා ත්‍රිවිද හමුදාව මෙන්ම ප්‍රදේශවාසීන්ද සහයෝගය දක්වන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යාක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේය. ඊයේ දිනයේ පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සහන සේවා වලට බාධා පැමිණ තිබු අතර අද උදෑසන සිට නැවතත් යුද හමුදාව හා ගුවන් හමුදාව එක්ව විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
මෙම සිද්ධිය බලා ගැනීමට පැමිණෙන පිරිස් හේතුවෙන් එම ස්ථානය සඳහා යාම ඇති පටුමාර්ගය අවහිර වී තිබේ. ආරක්ෂක අංශ පවසන්නේ තුවා ලැබූවෙකු සිටියත් ඔවුන්ව රෝහලට රැගෙන යාමට බාධා ඇති වන හෙයින් සිද්ධිය දැකබලා ගැනීමට පැමිණීමෙන් වලකින ලෙසයි. එය ඔවුන්ගේ මෙහෙයුම් සඳහා බාධාවක් බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
මේ අතර නාය යාම හේතුවෙන්කොස්ලන්ද ඔයට කිරිමැටි එකතුවීමෙන් කොස්ලන්ද ඔය සම්පූර්ණයෙන්ම භාවත කළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ. මේ වන විට කොස්ලන්ද නගරයට බවුසර් මගින් ජයල ලබාදිම ආරම්භ වී තිබේ.
ප්‍රදේශයේ ඊයේ සිදු වූ නාය යෑමෙන් අවතැන්වූවන් රඳවා සිටින තාවකාලික කඳවුරු දෙකට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබෙ. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා සඳහන් කළේ කඳවුරුවල සිටින සියලූ පුද්ගලයින් ලියාපදිංචි කර ඇති බවයි. ඔවුනට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව සිදුකෙරෙන බවද ඒ මහතා කියා සිටියේය.
මෙම අනතුර පිලිබඳ දැනුවත් කර ගම්වාසීන්ට නිවෙස්වලින් ඉවත්වන ලෙස දැනුම්දුන් බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්ද්‍රා දිසානායක ප්‍රකාශ කරන අතර ගම්වැසියන් පවසන්නේ තමන්ට එවැනි දැනුවත් කිරීමක් සිදු නොවූ බවයි.
අද දිනයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ප්‍රදේශයට යාමට නියමිත බවද වාර්තා වේ.