තනතුරු පිරිනැමීමේ බලය ජනපති පවරගනී
විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, නියෝජ්‍ය කථානායක යන තනතුරු සඳහා මන්ත්‍රීවරුන් පත්කිරීමේ සම්පූර්ණ බලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවරා තිබේ.
අද (28) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමකදී එම පවරාදීම සිදු කර තිබේ.
දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 95 දෙනාගෙන් 80 දෙනෙකු ශ්රීලනිපය නියෝජනය කරන බැවින් ඒ සියලුම දෙනා ජනාධිපතිගේ තීන්දුව ඒකමතිකව සම්මත කළ යුතු බවට තීරණයක් ගෙන ඇති අතර යම් හෙයකින් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු මෙම පත්කිරීම් වලට අදාළව ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහි වුවහොත් ඔහුට හෝ ඇයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව එකඟවී තිබේ.
එමෙන්ම සම්මුති ආණ්ඩුවක ශ්රීලනිපය විසින් ලබාගන්නා ඇමති ධූර සම්බන්ධයෙන්ද තීරණය ගැනීමේ බලය ශ්‍රීලනිප සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරීමට කටයුතු කර ඇත.
එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු කිහිපයක් වෙනුවෙන් කමිටු 03ක් පත්කිරීමට ද පියවර ගෙන ඇත.
ඒවායින් එක් කමිටුවක් පත්කර ඇත්තේ ජාතික ආණ්ඩුව පිළිබඳ දුර්මත නිවැරදි කිරීම සඳහායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානය සඳහා තවත් කමිටුවක් පත්කර තිබේ. අනෙක් කමිටුව පත්කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සම්මේලනය සම්බන්ධයෙන් ක්‍රියාකිරීමටයි.