තරුණිය මියගියේ තොල් ආලේපනය විස වීමෙන්ද?

null

චාමින්දි දිනුෂා සමරකෝන් මහනුවර හාරගම ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවයේ නිරතව සිටියාය. ඇය වැඩට ආවේ අම්පිටිය මැද්දේගම පිහිටි මහගෙදර සිටය. දිනුෂා සේවය කරන ඇඟලූම් කම්හලේ සේවය කරන තරුණියකගේ විවාහ මංගල්‍යයක් යෙදී තිබුණේ පසුගිය 19 වැනිදාටය.

මේ විවාහ මංගල්‍යයට ඇඟලූම් කම්හලේ එකට සේවය කරන යහළු යෙහෙළියන් පිරිසකටද ආරාධනා ලැබ තිබුණ අතර ඒ අය අතරේ චාමින්දිද වූවාය. ”මම හෙට වෙඩිං එකට යන්න එන්නේ උදේ පාන්දරම මේකප් එකක් දාගෙනමයි. එතකොට ලෙහෙසියි” කියා චාමින්දි පෙර දිනයේ වැඩ මුරය අවසන්වී ගෙදර යාමට මත්තෙන් ඇයගේ යෙහෙළියන් කිහිප දෙනෙක් සමග පවසා ඇත.

වෙඩිං එකකට යාමට කලින් ලස්සනට හැඩ වැඩවී යාමට තරුණියෝ කාන්තාවෝ අමතක නොකරති. වඩාත් හැඩ වැඩ වී යාමට කැමැති තරුණියන් හා කාන්තාවන් කීයක් ගියත් යන්නේ බියුටි සැලූන් එකක් වෙතය. චාමින්දි තල්වත්ත ප‍්‍රදේශයේ තිබෙන බියුටි සැලූන් එකකට ගියේ ලස්සනට හැඩ වැඩවී තම සහෝදර යෙහෙළියගේ වෙඩින් එකට යාමේ අදහසිනි. ලස්සනට හැඩ වැඩවී ඇය හනිකට ඇඟලූම් කම්හල වෙත පැමිණියේ වරුවක් වැඩ කිරීමට තිබූ නිසාය.

බියුටි සැලෝන් එකට දිනුෂා ගොස් ඇත්තේ 19 වැනිදා අලූයම 5.30ට පමණය. මේක් අප් එකක් දාගත් දිනුෂා උදේ 7.30ට පමණ වෙද්දි ඇඟලූම් කම්හල වෙත පැමිණියාය. ”මම අද හරි ලස්සනයි නේද? කොහොමද මගේ මේකප් එක උඹලාට මගේ ලස්සන දැකලා ඉරිසියා හිතුනද” කියා චාමින්දි තම යෙහෙළියන් කිහිප දෙනෙක් එක්ක පවසා ඇත්තේ කොක්හඬලා සිනාසෙමින්ය.

”ඇත්තමයි බං උඹ අද හරිම ලස්සනයි.” චාමින්දිගේ සමීපතම යෙහෙළියක් පවසා ඇත්තේ ඇයගේ එක් අතක් තරයේ අල්ලා මිරිකන ගමන්මය. ”ඔව් චාමි උඹ හරිම ලස්සනයි.” අනෙකුත් යෙහෙළියෝද පවසා ඇත්තේ ඇයගේ හැඩ වැඩ බලන අතරවාරයේය. ”දැන් ඉතිං හැඩ වැඩ බැලූවා ඇති ඉක්මනට තියන වැඩක් ඉවර කරලා දාමු. ඉක්මනට වෙඩින් එකට යන්න තියනවානේ” කියා පවසමින් ඇඟළුම් සේවිකාවන් ඔවුන්ට පැවරී ඇති රාජකාරි ඉටු කිරීමට ගොස් ඇත.

ඇඟලූම් සේවිකාවන් ගේ කිචි බිචිය වෙනදාට වඩා වැඩිය. ඒ වෙන කිසිවක් නිසා නොව තම යෙහෙළියගේ වෙඩින් එකට ගිහින් කරන විහිළු තහළු කල්තියා මතක් කිරීම නිසාය. කෑම පැය ආසන්නවූ විට සියලූ වැඩ නැවැත්තුවේ වෙඩින් එකට යාමට ඇති නිසාය. ඇඳ සිටි ඇඳුම යළි සකසාගත් දිනුෂා ඊළඟට සැරැුසුණේ තොල් රතුකර ගැනීමට ආලේපනයක් තවරා ගැනීමටය. ”කෝ උඹ තාම හැඩ වැඩ වෙන එක ඉවරයක් නැත්ද? අපිට පරක්කු වෙනවා. ඉක්මනට වරෙං” කියා සහෝදර යෙහෙළියක් හඬ නගා කීවාය. ”ඉවරයි. ඉක්මනට එනවා. මේ ලිප්ස්ටික් එක ගාගෙන” යැයි දිනුෂා පවසමින් ඇයගේ සුසිනිඳු තොල් පෙති මත රතු පැහැති ආලේපනයක් තැවරීමට පටන් ගත්තාය. ඒ එක්කම ඇයට ක්ලාන්තයක් සෑදී බිම ඇදගෙන වැටී ඇත්තේ කපා හෙළුෑ කෙසෙල් කඳක් මෙන් යැයි කියති.

දිනුෂාට එකපාරටම වෙච්ච දේ ගැන අදහා ගැනීමට නොහැකිවූ යෙහෙළියන් අන්න දිනුෂා ඇදගෙන වැටුණා කියා ඇය ඇද වැටී සිටි තැනට දිව ගොස් ඇත්තේ කෑ ගසමිනි. ”දිනුෂා ක්ලාන්තයක් දාලා ඇදගෙන වැටිලා සිහිය නැහැ” කියන කතාව ඇඟළුම් කම්හල පුරා පැතිර යාමට වැඩි වේලාවක් ගතවූයේ නැත. ඇඟලූම් කම්හලේ මානව සම්පත් අංශයේ නිලධාරින් වහා කි‍්‍රයාත්මක වී ඇය එහි ඇති වෛද්‍ය මධ්‍යස්ථානයට කඩිනමින් ගෙනගොස් මූලික ප‍්‍රතිකාර ලබාදී පසුව මහනුවර මහ රෝහලට රැුගෙන ගොස් ඇත.

අලූයම 5.30ට පමණ මේ තරුණිය රූපලාවන්‍යාගාරයකට ගොස් රූපලාවන්‍යය කරගෙන සේවා ස්ථානයට පැමිණ තිබෙනවා. දහවල් කෑම පැයේ වැඩ නවත්වලා මගුල් ගෙදරක යාමට සූදානම්වී තොල් සායම් කරද්දි එක පාරටම සිහිය නැතිව ඇද වැටී තිබෙනවා. ඊට පස්සේ මහනුවර මහ රෝහලට ගෙනවිත් තිබෙනවා. එතකොට වේලාව දහවල් 1.45ට විතර ඇති. ඒ වනවිටත් ඇය මියගොස් යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා ද පවසයි.

තොල් පෙති සායම් කරමින් සිටිය අතර වාරයේ හදිසියේ ක්ලාන්තයක් හැදී මිය ගිය දිනුෂාගේ මළ සිරුර කපා පරීක්ෂාකර බලා ඇත්තේ මහනුවර මහ රෝහලේ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එම්. සිවසුබ‍්‍රමනියම් මහතා විසිනි. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය විශේෂඥයා ඇයගේ මරණයට හේතුව ප‍්‍රකාශ නොකර විවෘත තීන්දුවක් ලබාදුන් බව සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට ලබාගෙන ඇති බවත් රස පරීක්ෂක වාර්තා ලැබීමෙන් පසු මරණයට හේතු ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවත් සහකාර පොලිස් අධිකාරිවරයා පෙන්වා දුන්නේය. තොල් ආලේප කිරීමේදී කිසියම් අසාත්මිකතාවකට ලක්වූයේද යන්න සොයා ගැනීම මෙම පරීක්ෂණවල අරමුණ වී තිබෙන බව දැන ගැනීමට ඇත. සිය ජීවිතයෙන් සමුගන්නා විට දිනුෂා ජීවිත ගමනේ 27 වැනි සැතපුම් කණුව පසුකරමින් සිටියාය.

ලස්සනට හැඩ වැඩවී සිය යෙහෙළියගේ මඟුල් ගෙදර යාමට සූදානම්වූ දිනුෂාගේ මේ හදිසි වියෝව නිසා ඇය සමග එකට වැඩ කරන සහෝදර සේවක සේවිකාවෝ පමණක් නොව පවුලේ අයද වාවාගත නොහැකි ශෝකයෙන් පසුවෙති.

මහනුවර සහකාර පොලිස් අධිකාරි කමල් රණවීර මහතාගේ උපදෙස් මත තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. රත්නායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක විජේසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වාගෙන යති.

සිරුරට බැහැරින් එකතුවන කිසියම් ද්‍රව්‍යයකට (එන්නතක්, ඖෂධයක් හෝ ආහාර ද්‍රව්‍යයක්) සිරුර මගින් දක්වන ප‍්‍රතිකි‍්‍රයාව අසාත්මිකතාවක් ලෙස සැලකිය හැකි බවත් එහිදී ඇති කරන ලක්ෂණ සුළු කැසිල්ලේ සිට මරණය දක්වා යා හැකි බව කායික රෝග හා දියවැඩියා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පවසයි. විවිධ හේතූන් මත කෙනෙකුට අසාත්මිකතාවක් ඇතිවිය හැකියි. එක් අයකුට අසාත්මිකතාවක් ඇතිවීමට බලපාන ආකාරයේ ඖෂධයක් එන්නතක් හෝ ආලේපනයක් තවත් කෙනෙකුට අසාත්මිකතාවක් ඇතිවීමට බලපාන්නේ නැහැ. කාලයක් තිස්සේ ගන්නා ආහාරයක්, ඖෂධයක් හෝ එන්නතක් පසුව ඔහුට හෝ ඇයට අසාත්මිකතාවක් හට ගැනීමට බලපෑ හැකි අවස්ථාද තිබෙන බවද විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පෙන්වා දෙයි.

සිය නැගණිය චමින්දිගේ හදිසි වියෝව නිසා සොහොයුරා වන ඩිලාන් සමරකෝන් ද පසුවන්නේ දරාගත නොහැකි වේදනාවකිනි.

”මට ඉන්න එකම සහෝදරිය මේ චමින්දි නංගි විතරයි. චමින්දි නංගි අවුරුදු පහක විතර කාලයක ඉඳලා ගාර්මන්ට් එකේ රස්සාවට යනවා. මමත් නංගි වැඩ කරන ගාර්මන්ට් එකේම රස්සාව කරනවා. චමින්දි නංගි තරුණයෙක් සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. ඇය ඒ තරුණයා සමග විවාහ වීමේ අපේක්ෂාවෙන් හිටියේ. චමින්දි නංගි එක්ක එකට වැඩ කරන යෙහෙළියකගේ වෙඩින් එකට යන්න සූදානම් වෙලා තමා ගෙදර ගියේ. පාන්දරම බියුටි සැලෝන් එකකට යනවා කියා කිව්වා” යැයි චමින්දිගේ සහෝදරයා ඩිලාන් පැවැසීය.

අපි වැඩ කරන ගාර්මන්ට් එකෙන් නංගිගේ අවමඟල් ගෙදරට අවශ්‍ය සේරම දේවල් කරනවා. චමින්දි නංගිගේ මේ හදිසි මරණය මට හිතාගන්නවත් බැහැ නංගිගේ මරණය මට දරාගන්න බැහැ යැයි ද ඔහු හැඟුම්බරව කීය.

ලස්සන වෙන්න ගිය ඇයට මෙවන් ඉරණමක් අත්වේ යැයි කියා සිහිනයකින්වත් නොසිතන්නට ඇත. මරණයේ වේදනාව මියගිය අයට නොව ජීවත් වන්නන්ටය.

(ලංකාදීප)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>