දැන් මට සංගීතය ගැන හිතන්නවත් වෙලාවක් නැහැ

null

එදා සුපිරි තරු කිරුළ වෙනුවෙන් ගී ගැයූ කඩවසම් තරුණයා පිළිබඳ අවුරුදු 11ක් අතීතයට මගේ සිත දිව යනවා. තරුණ තරුණියන් බොහෝ දෙනකුගේ සිත් තුළ සිහින කුමාරයා බවට ශිහාන් මිහිරංග පත් වුණේ එක රැයෙන්. අදටත් ඔහු ගැන දැන ගන්න රසික රසිකාවියන් දක්වන්නේ කැමැත්තක්. ඒ තරමටම ශිහාන් අදටත් ජනප්‍රිය චරිතයක්.

ඒත් ගත වූ කාලය තුළ ශිහාන් ගේ ජීවිතේ බොහෝ දේ වෙනස් වෙලා. අද ඔහු පුංචි පුතුන් දෙදෙනකුගේ ආදරණීය පියෙක්. ශිහාන්ගේ ආදරණීය බිරිඳ ගෙෂ්නි. කඳාන ප්‍රදේශයේ පිහිටි ශීහාන්-ගෙෂ්නි සොඳුරු කැදැල්ලට අපි ගොඩ වැදුණේ ඔවුන් ගේ අලුත්ම තොරතුරු දැන ගැනීමේ අරමුණෙන්. අප එහි යන විටත් පුංචි පුතුන් දෙදෙනාගේ සිනහවෙන් හා දඟකාරකම්වලින් අතොරක් නැතිව ඒ සොඳුරු කැදැල්ල පිරීතිරී තිබුණා. දරු දෙදෙනාම දෙඅත් මත තුරුළු කරගත් ශිහානුත් ගෙෂ්නිත් අපිව පිළිගත්තේ සුපුරුදු ළෙන්ගතුකමින්.

*කාලෙකට පස්සේ ‍ශිහාන්ව දකින්නේ?

ඔව්. මේ දවස්වල මගේ සංගීත ජීවිතය වෙනුවෙන් කාලය වැය නොවෙන තරම්. පුතාලා දෙන්නා වෙනුවෙන් තමයි

වැඩි පුර කාලයක් වෙන් කරලා තියෙන්නේ. ඒ අතර තුර ඉඩ ලැබෙන කාලයේ තමයි සංගීත කටයුතු කෙරෙන්නේ. සුපුරුදු සිනහවෙන් පිළිතුරු දුන් ශිහාන් හා ගෙෂ්නි අපිත් එක්ක කතා බහට එක් වුණා.

*ඒ කියන්නේ ශිහාන්ගේ සංගීත ඉගැන්වීම් කටයුතු දැන් නැවතිලා ද?

ඒක නම් නැවතුණා.‍ මගේ නවතම නිවෙස වගේම සංගීත කටයුතු සිදු කරන කලායතනය, මියුසික් ස්ටුඩියෝ එක කඳාන නගරයේ තවම ගොඩනැ‍ඟෙමින් පවතිනවා. ලබන වසරේ එහි පදිංචියට ගිහින් ඒ දේවල් නැවත අරඹන්න මම අදහස් කරනවා. මම ක්ෂේත්‍රයට ඇවිත් ගෙවුණු මුල් අවුරුදු හතම මගේම නිර්මාණවලින් තමයි ප්‍රේක්ෂකයන් අතරට ගියේ. ඉන්පසු වසර දෙකක් විතර ‍අලුත් අයගේ වගේම ප්‍රවීණයන්ගේ ගීතවලට දායක වුණා. ඉදිරියේ දී මගේම නිර්මාණ, මම කැමැති දේ වෙනස්ම ආකාරයේ සංගීතයත් එක්ක රූප රචනා සමඟ ගීත 14ක් ඉදිරිපත් කරන්න මම සුදානම් වෙනවා. එය රසිකයන් අතටම පත් කරන්න තමයි සැලැසුම් කර තියෙන්නේ.

*විවාහයෙන් පස්සේ ඔබ දෙදෙනා ලබන අත්දැකීම් ගැන මොකද හිතෙන්නේ?

විවාහයෙන් පස්සේ මමත් ගෙෂීත් ගෙවන ජීවිතේ අපි දෙන්නටම ලොකු අත්දැකීමක් වුණා. මම හරිම නිදහසේ හිටපු චරිතයක්. අවුරුදු 19න් ජනප්‍රිය වුණේ. ඒ ජනප්‍රියත්වය එක්ක අවුරුදු 08ක්ම ජීවත් වුණා. ඉන් පස්සේ විවාහ වුණා. ඉක්මණින්ම දරුවන් දෙදෙනකුගේ පියෙක් වුණා. දැන් මට දවසේ විනාඩියක්වත් මගේ සංගීතය ගැන හිතන්න වෙලාවක් නැහැ. වෘත්තිය පැත්තකින් තියලා දරුවන්ගේ වැඩවලට මුල් තැන දෙන්න සිදු වෙලා තියෙනවා. ගෙෂ්නිටත් මටත් ලොකු වගකීමක් පැවැරිලා තිබෙනවා. ඒ දේ මඟ හරින්න බැහැ. පුතාලා දෙන්නා යම් වයස් මට්ටමකට එන තෙක් එයාලව බලාගත යුතුයි. නිවාඩුවක් අපිට හම්බවෙන වෙලාවෙදි කරන එකම දෙය තමයි ගිටාර් එකක් අරගෙන සිංදුවක් කියන එක. ඒක තමයි මේ දවස්වල අපි ලබන පොඩිම චාන්ස් එක. ශිහාන් එහෙම කිව්වේ පියානෝව වාදනය කරන්න තතනන පුංචි ක්ලේන් දෙස බලමින්.

*පොඩ්ඩො දෙන්නත් එක්ක කාලය ගත කරන්නේ කොහොමද?

දැන් ලොකු පුතාට අවුරුදු දෙක හමාරක්. එයා ශිහාන් ක්ලේන් මාෂ්. පොඩි පුතා ශිහාන් කෙනන් යාෂ්. එයාට තවම මාස 10යි. පුතාල දෙන්නම නිදා ගන්නෙ පාන්දර යාමේ. පුතුන්ම දෙදෙනෙක් ලැබුණු එක මට සතුටක්. මොකද පුතාල තාත්තට ලොකු හයියක්. අපි දෙන්නම දරුවන් දෙදෙනා ළඟම රැදෙන්න තමයි උත්සාහ කරන්නේ. මොකද මේ කාලයේ ඔවුනට අවශ්‍ය දේ අපි ලබා දිය යුතුයි. මේ කාලයේ දරුවන්ගෙන් ඈත් වුණොත් මට ඒ අය එක්ක ඉන්න වෙලාව නැතුව ගියොත් තාත්ත තමයි මේ ඉන්නෙ කියලා දරුවො ටී වී එකේ පෙන්නයි. ඒත්…විශේෂයෙන් මට ඉන්නේ කොල්ලොම දෙන්නෙක්. මම හරි කැමැතියි යාළුවො වගේ ආදරණීය බැඳීමක් මගේ පුතාලා දෙන්නා එක්ක ගොඩනඟා ගන්න. ඒ දේ මේ මොහොතේ ඉඳන් කරන්න අවශ්‍යයි. පවුල තමයි හැමදේටම වඩා වැදගත්. ඒ වෙනුවෙන් වැඩි කාලයක් දෙනවා. ‘ ශිහාන් එලෙස පිළිතුරු ‍දෙන විට ගෙෂ්නි ඔවුන් ගැන කිව්වේ මෙහෙම දෙයක්.

‘ඒ දෙන්න රෑ අටට නවයටවත් නිදි කරවන්න බැහැ. ශිහානුත් සාමාන්‍යයෙන් සංගීත ප්‍රසංග වැඩ කටයුතුත් එක්ක නිදා ගන්න කොට පාන්දර වෙනවා. ඒ දේ පුතාලටත් ඒ විදිහටම බලපාල ද දන්නේ නැහැ.’

*ගෙදර උයන පිහින වැඩ සිදුකරන්නෙ ගෙෂ්නි ද? මා ගෙෂ්නිගෙන් ඇසූ පැනයට පිළිතුරු දුන්නේ ශිහාන්.

උයන පිහින වැඩවලට සෑහෙන දුරට මමත් සහභාගි වෙනවා. මට රසට උයන්න පුළුවන්. ගෙෂීට පැවරිලා තියෙන වැඩ කොටසත් එක්ක උයන දේ ඇයට තවත් කරදරයක්. මගේ ලයිෆ් එකේ මම ආසම කරන දෙයක් තමයි කුකුරි කියන්නේ. ඕනම වර්ගයක කෑම බීම මට හදන්න පුළුවන්. මම සංගීත ක්ෂේත්‍රයට එක් වුණේ අහම්බෙන්. මම හොටෙල් ස්කූල් යන්න, ලෑන්ඩ්ස්කීපින් කරන්න බලාපොරොත්තුව හිටියේ. කේක් පේස්ට්‍රි වර්ග පවා මට හදන්න පුළුවන්. අපේ ගෙදර මාකට් යන වැඩ හැම දෙයක්ම කරන්නේ මම. නමුත් ගෙෂ්නිත් යන වෙලාවල් තියෙනවා. ඒ දේවල් අපි දෙදෙනා කතා බහ කරලා සිදු කරනවා.

*ගෙෂ්නි වැනි බිරිඳක් ලැබීම ගැන මොකද හිතන්නේ?

ල්ඇය තමයි මගේ ජීවිතේ මට අඩුවෙන්ම කරදර කරන කෙනා. ඇය සියයට සියයක්ම මාව තේරුම් ගෙන තිබෙනවා. ගෙෂී මාත් එක්ක යාළුවෙන කොට මම සාමාන්‍ය චරිතයක්. ජනප්‍රිය චරිතයක් නෙමෙයි. පරණ බැන්ඩ් ගහපු රුපිය 500 ඩේලි පේ එකට වැඩ කරපු කොල්ලව තමයි තවමත් ඇය දන්නේ. එයාට එතනින් පහළට වැටෙන්න තැනක් නැහැ. ශිහාන් මිහිරංග කියන ජනප්‍රිය චරිතෙට වඩා ‍ශිහාන් අයියාව විතරයි ඇය දන්නේ.එනිසා ඇගෙන් මට ලැබෙන සහය කියා නිම කරන්න බැහැ.

* ශිහාන් දැන් රියැලිටි වැඩසටහන් විනිශ්චයට සමුදීලද?

මෙහෙමයි. යම් වැඩසටහනකට එක් වෙද්දී එයට මගේ යම් අයකිරීමක් තිබෙනවා. මගේ බජට් එකට අදාළව ඔවුන්ගේ බජට් එකත් සැසඳුණොත් ඒ දේට මම එකඟ වෙනවා. සැසඳුණේ නැත්නම් මම ඒ දේ භාර ගන්නේ නැහැ.

නිවෙසේ වැඩකටයුතුත් දරුවන්ගේ අවශ්‍යතාත් සොයා බලමින් ‍අපටත් අගන්තුක සත්කාරකරමින් බොහෝ දේ ගැන අප සමඟ කතා කරමින් සිටි ශීහාන්-ගෙෂ්නි යුවළට සමු දිය යුතු කාලය පැමිණියේ කාටත් නොදැනීමයි. ඔවුන්ට දරු දෙදෙනා සමඟ කාලය ගත කරන්නට අවකාශ ලබා දිය යුතු නිසා අපි ඔවුන්ගෙන් සමුගත්තා.

තුෂාරි නේරංජා වික්‍රමසිංහ.
ජායාරූප- මහින්ද විතානච්චි

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>