නව බස් ගාස්තු සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට
සියයට 12.5 කින් බස් ගාස්තු ඉහල දැමීමට අදාල යෝජනාව අද (22) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සියයට හයයි දශම පහක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදෙනු ලැබීය. එහෙත් අදාළ බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් නොවන බව පවසමින් බස් සංගම් විරෝධය පල කළ අතර ඒ අනුව සියයට 12යි දශම 5ක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය එකඟතාව පල කර තිබේ.
රුපියල් 10ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීමට ද තීරණය කෙරුණි. මෙම එකඟතාවයත් සමග පසුගිය 17 වනදා පෞද්ගලික බස් සංගම් ක්‍රියාත්මක කිරීමට තිබු වැඩ වර්ජනය ද අත්හිටවනු ලැබුවා.
අදාළ සංශෝධනයන් අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.
එයට අනුමැතිය හිමි නොවුනහොත් හෙට (23) මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත්වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රන්න්දු මහතා පවසයි.