නේපාලයේ සුන්බුන් අතර සිරවී දිවි ගලවාගත් බිලිඳා
පසුගියදා නේපාලයේ ඇතිවූ භූ කම්පනයෙන් පසු තම නිවසේම සුන් බුන් අතර පැය 22ක පමණ කාලයක් සිරවී සිටි කුඩා දරුවකුගේ දිවි ගලවා ගැනීමට සහන සේවාවන්හි නිරත හමුදා කණ්ඩාමක් සමත්ව තිබේ.
මෙසේ දිවි බේරාගෙන ඇත්තේ මාස 4ක් පමණ වයසැති සොනිට් අවාල් නම් පිරිමි දරුවෙකුගේය.
භූ කම්පනය සිදු වන අවස්ථාවේ සිඟිත්තා නිවසේ සිට ඇති අතර භූ කම්පනයෙන් නිවස සම්පූර්ණයෙන් ම විනාශ වී තිබේ. පසුව සොනිට්ගේ පියා උමතුවෙන් මෙන් පණ පිටින් ම පස් සුන්බුන් අතර වැළලී ගිය සිය කිරිකැටි බිළිඳා සොයන්නට පටන් ගෙන ඇත.
එහෙත් ඔහුට සිය දරුවා සොයාගැනීමට නොහැකි වූ තැන ඔහු නේපාල හමුදාව අමතා පවසා ඇත්තේ, සුන්බුන් අතර සැඟව ගිය සිය දරුවා සොයා ගැනීමට උදව් කරන ලෙස ය. වහා ක්‍රියාත්මක වූ හමුදා භටයින් දරුවා සෙවීමේ කටයුතු වල නිරත වී තිබෙන අතර මධ්‍යම රාත්‍රිය වන තුරුම එය සාර්ථක වී නොමැත.
පසුදා උදෑසන නැවත මෙහෙයුම් ආරම්භ කළ හමුදා භටයින් පස්, බාල්ක ගඩොල් අතර සිර වී දූවිලිවලින් වැසී සිටි දරුවා සොයා ගැනීමට සමත් වී තිබේ.
එහි සිට භටයෙක් දරුවා හිරු එළියට ඔසවද්දී ඔහු සියලු දෙනාගේ නෙත්වලට සතුටු කඳුළු එක් කරමින් ඇස් පිය ගසන්නට පටන් ගෙන තිබේ.
දරුවා වහා ම රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති අතර දරුවාට තුවාල කිසිවක් සිදුව නොමැති බවත්, දරුවාගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.