නොහික්මුණු සිසුන් 10 දෙනකු නිසා පාසලක් වැසේ
පාලනය කළ නොහැකි සිසුන් දස දෙනකු සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් නිසි පියවර නොගැනීමට විරෝධය පළකරමින් ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණීම නිසා බළපිටිය රේවත ජාතික පාසල ඊයේ (08) වසා දැමීමට සිදුවි තිබේ.
මෙම විදුහලේ සිසුන් දස දෙනකු පමණ දඩබ්බර ලෙස හැසිsරෙමින් කුඩා පන්තිවල සිසුන්ගේ මුදල් පවා කොල්ලකන බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් නියෝජ්‍ය විදුහල්පති සරත් උපාලි දොඩංගොඩ මහතා සඳහන් කර ඇත. මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇතත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද ඒ මහතා පවසයි.
“මේ දරුවන්ගේ දෙමව්පියන් කැඳෙව්වත් පාසලට එන්නේ නැහැ. කලාප කාර්යාලයට දැනුම් දුන්නම ළමයි පාලනය කිරීමට ගුරුවරුන් දැනගත යුතුයි කියනවා. ගුරුවරු ලෙඩ නිවාඩු දමන්න තීරණය කළේ ඒ නිසයි” යනුවෙන් ඔහු වෙඩි දුරටත් පවසා තිබේ.
මෙම සිසුන් සම්බන්ධයෙන් පොලිසිය හෝ අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගුරුවරුන්ගේ බලවත් විරෝධයට හේතු වී ඇත. විදුහල්පති සහ එක් ගුරුවරියක් පමණක් ඊයේ සේවයට වාර්තා කර ඇති අතර මේ නිසා පාසලට පැමිණි සිසුන් ආපසු හැරී ගොස් තිබේ.
අම්බලන්ගොඩ බලපිටිය රේවත ජාතික පාසලේ වර්තමානයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (09) පැවැත්වෙන අතර අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ අද (09) දිනයේදී සේවයට වාර්තා කරන ලෙස විද්‍යාලයේ සියලු ගුරුවරුන්ට දැනුම් දීමක් සිදුකර ඇති බවයි.