පාසල් දැරියන් ඉලක්ක කරගත් Facebook මාෆියාව
අවුරුදු 12 සහ අවුරුදු 19 අතර වියේ පසුවන පාසල් දැරියන් බිලිගැනීමේ මාෆියාවක් ෆේස්බුක් සමාජ වෙබ් අඩවි හරහා ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.
ෆේස්බුක්, සමාජ වෙබ් අඩවි හරහා ලිංගික බලපෑම් සිදු කිරීමට එම වයස් වල දරුවන් ඉලක්ක කරගෙන ඇති බවත්, සමාජය ගැන අවබෝධයක් නොමැති වීම හේතුවෙන් ඔවුන් ඉක්මනින් රැවටීමට ලක්වන බවත් ළමා රක්ෂණ අධිකාරිය පවසයි.
එහි සභාපතිනි නටාෂා බාලේන්ද්‍ර මහත්මිය පවසන්නේ පාසල් දැරියන්, පෞද්ගලික උපකාරක පන්තිවලට යන දැරියන් මෙහිදී වැඩි අවදානමකට ලක්වීමට ඉඩ ඇති නිසා ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් සිටින ලෙස මවුපියන් ඇතුළු භාරකරුවන්ගෙන් ඉල්ලා සිටින බවයි.
ෆේස්බුක්, සමාජ වෙබ් අඩවි හරහා සිදුකරන ලිංගික බලපෑම් හා ලිංගික අපරාධ සොයා බැලීම සඳහා සියලුම ෆේස්බුක් සහ සමාජ වෙඩි අඩවි හඳුනා ගැනීමේ විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බව බාලේන්ද්‍ර මහත්මිය සඳහන් කර ඇත.
මව්බිම පුවත්පත වාර්තා කරන පරිදි අන්තර්ජාලය මඟින් මෙසේ අපරාධ සිදුකර සැඟවී සිටීමට හැකිය කියා කිසිවකු සිතනවානම් එය මුළාවක් බවත් මෙවැනි අපරාධ ලෝකයේ කොහේ සිට සිදු කළත් ඒවා හඳුනාගෙන අදාළ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි ක්‍රමවේද සියල්ල තම අධිකාරිය සතු බවද ඇය පවසයි. මේ සඳහා තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥ දැනුමකින් යුත් නිලධාරීන් පිරිසක් සියලුම ෆේස්බුක්, සමාජ වෙබ් අඩවි ගිණුම් පරීක්ෂා කරමින් සිටින බවත් එවැනි සැකකටයුතු ගිණුම් ගැන දැඩි විමර්ශන සිදුකරන බවත් ඇය පැවැසුවාය. මේ සඳහා යුනිසෙෆ් සංවිධානය, රහස් පොලිසිය හා අන්තර්ජාතික පොලිසිය, ජාතික ළමා රක්ෂණ අධිකාරිය සමඟ එක්ව සිටින බවද නටාෂා බාලේන්ද්‍ර මහත්මිය කියා සිටියාය.
අන්තර්ජාලයෙන් සිදුකරන ලිංගික බලපෑම් සහ අපරාධ පිළිබඳ පැමිණිලි 20ක් ගිය වසරේදී ලැබුණු බවත් ඉන් 7ක් මහා පරිමාණයේ අපරාධ බවත් එම 7 දෙනාට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබෙන බවත් ඇය වැඩි දුරටත් සඳහන් කර ඇත. මේ වසරේදී මේ ආකාරයෙන් පැමිණිලි 6ක් ලැබී තිබේ. 1929 ජාතික ළමා රක්ෂණ අධිකාරියේ ඇමැතුම් අංකයයි.