පාසල් සිසුවියක් ගෙල වැලලාගනී
කඩුගන්නාව වට්ටප්පොල ප්‍රදේශයේ නම වන ශ්‍රේණියේ ඉගනුම ලබන වයස අවුරුදු 14 ක දැරියක් මෙලෙස සිය දිවි හානි කරගෙන තිබේ. ඇයගේ මව පොලිසියට පවසා ඇත්තේ තමන් තේ දළු නෙලීමට ගොස් නැවත පැමිණ සොයා බැලීමේදී දියණිය පෙනෙන්නට නොසිටි බවත් පසුව නිදන කාමරයේ දොර වසා තිබෙනු දැක එය විවෘත කර බැලීමේදී තම දියණිය හා ප්‍රදේශයේම තවත් තරුණයකු නිර්වස්ත්‍රව සිටිනු දැක ඇති බවත් එම අවස්ථාවේදී තමන් එම පුද්ගලයාට පහර දි එලවා දැමීමටත් කටයුතු කර බවත්ය. පසුව තම දියණියට අවවාද කිරිමෙන් පසුව නෙලන ලද තේ දළු භාර දීමට ගිය බවත් සදහන් කර ඇත.
තමන් යලි නිවසට පැමිණෙද්දී තම දියණිය කුස්සියේ දොර අගුල රදවනයේ ඇයගේ පාසල් ටයිපටියෙන් එල්ලි සිටිනු දක්නට ලැබුණු බව ඇය තවදුරටත් පවසා ඇත.
මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කඩුගන්නාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිමල් චන්ද්‍රසිරි මහතා ඇතුලු පොලිස් නිලධාරින් විසින් සිදුකරගෙන යනු ලබයි. පොලීසිය සඳහන් කළේ දැරිය සිය දිවි නසා ගත්තා ද නැතිනම් වෙනත් අයෙකු විසින් ඝාතනය කර එල්ලා තිබේද යන්න සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවයි. පාසල් සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇය ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවයි. ඒ අනුව ඇය සමඟ නිවසේ සිටි තරුණයා පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් තරුණයා ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 1 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය සදහන් කරයි.