පිටරට ‘තරු’ ගෙන්වනවානම් සංස්‌කෘතික අමාත්‍යාංශයෙන් අවසර ගත යුතුයි
විදේශීය නළු නිළියන් හා ගායක ගායිකාවන් ලංකාවට ගෙන්වා සංගීත ප්‍රසංග පවත්වන්නේ නම් සංස්‌කෘතික අමාත්‍යාංශය දැනුවත් කර ඊට අවසර ගත යුතු යෑයි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්‌කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මහතා පැවසීය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබේ…
“රජයක් හැටියට අපිට අපේ හෙළ සංස්‌කෘතිය විනාශ කරන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා විදේශීය තරු රට තුළට ගෙන්වා සංගීත ප්‍රසංග පවත්වන සංවිධායකයින් ස්‌වයං වාරණයක් ඇතිකර ගත යුතුයි. ඒ වගේම මුදල් හම්බ කිරීම ප්‍රධාන අරමුණ බවට පත් කර ගත් – රට සහ අපේ සංස්‌කෘතිය ආරක්‌ෂා කිරීමට ප්‍රමුඛත්වය දිය යුතුයි.
අපේ සංස්‌කෘතිය විනාශ කරන අයට මඩු වලිගයෙන් ගැසිය යුතු යෑයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මෙහි ඇති බරපතළ කම නිසයි. අපේ දේශීය සංස්‌කෘතිය විනාශ කරන අයට විරුද්ධව ගත හැකි නීතිමය පියවර පිළිබඳව ජනාධිපතිතුමා සමග සාකච්ඡා කර විධිමත් වැඩ පිළිවෙළක් ඉදිරියේදී අපි සකස් කරනවා.
වසර දෙදහස් පන්සියකට අධික අභිමානවත් ඉතිහාසයක් ඇති අපේ සංස්‌කෘතිය ආරක්‌ෂා කර රැක ගැනීමට සියලු දෙනාම කැප විය යුතුයි. රජයට විතරක් එය තනිව කළ නොහැකියි. ඒ සඳහා කලාකරුවන් පෙරට ආ යුතුයි.”