පොලීසියෙන් බට්ටිව අතුරුදහන් කරන්න හදලා
රත්නපුර නගරයේදි අමානුෂික ලෙස පොලිස් නිලධාරියකුගේ පහරකෑමට ලක්වු කාන්තිලතා හෙවත් බට්ටී අතුරුදහන්ව ඇති බවට පොලිසිය විසින් ප්‍රකාශ කරන වග අද පුවත්පත්වල පළවී තිබුණු බවත්,එය මුළුමනින්ම අසත්‍ය පුවතක් බවත් ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.
SCFR 291/2014 යටතේ ඇය විසින් පවරා තිබු මූලික අයිතිවාසිකම් නඩුව අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගත් බවත්, එය අද දිනයේදී විභාගයට අවසර දෙන ලද බවත්, එසේම විත්තිකරුවන්ට 2015 ජුනි 11 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය විසින් දැනුම්දුන් බවත් ප්‍රේමරත්න මහතා කියා සිටියි.
එසේම පොලිසිය විසින් අතුරුදන් ලෙස පැවසු කාන්ති ලතා ද මේ නඩුවිභාගයට පැමිණි බව ඒ මහතා සඳහන් කරයි.
හිරු නිව්ස් සඳහන් කරන පරිදි උදුල් පේ‍්‍රමරත්න මහතා වැඩි දුරටත් මෙසේද සඳහන් කර තිබුණි.
නඩු විභාගයෙන් අනතුරුව ඇය අලූත්කඬේ බෙල්මන් වීදියේ මාගේ කාර්යාලයට පැමිණ සිටියදි හදිසියේම කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරිණියක් හා නිලධාරියකු පැමිණ ඇයව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව දන්වන ලදි. ඒ රත්නපුර පොලිසියට ඇයව වරෙන්තුවක් යටතේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව පවසමිනි. නමුත් ඔවුන්ගෙන් වරෙන්තුව පෙන්වන ලෙස ඉල්ලා සිටි විට එවැන්නක් ඔවුන් සතුව නොතිබුණි. මේ අනුව පොලිසීය මේ පහරදීම පිළිබඳ කිසිදු විධිමක් පරීක්ෂණයක් නොකර ඇය අතුරුදන් බවට ව්‍යාජ පුවත් මවා ඇයව හදිසියේ අත්අඩංගුවට ගැනීමට උත්සහ කරන බව පැහැදිලිය. මා ඇතුළු තවත් නීතිඥවරු නොසිටි ස්ථානයකදි පොලිසියට ඇයව හමු වුනි නම් මේවන විට ඇයව අත්අඩංගුවට ගෙන අවසානය.
එවිට අතුරුදහන්ව සිටි බට්ටී, පොලිසිය විසින් දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවටගත් බව මාධ්‍ය ප්‍රකාශක පවසනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.