බ්ලූමැන්ඩල් වෙඩි තැබීම ගැන පරීක්ෂණ CIDයට
කොටහේන ප්‍රදේශයේදී අමාත්‍ය රවී කරුණානායකගේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සොයා වහා අත්අඩංගුවට ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත්තේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව සතු සම්පත් උපරිම ලෙස යොදා ගන්නා ලෙසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එමෙන්ම අමාත්‍ය රවී කරුණානායක මහතා සිද්ධිය වීමට පෙර අදාළ ස්ථානයට පැමිණෙන අවස්ථාවේ මාධ්‍ය ආයතන විසින් ලබාගත් වීඩියෝ දර්ශන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත.
කොටහේනේ දී අමාත්‍ය රවී කරුණානායකගේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන හයිබ්රිඞ් වර්ගයේ මෝටර් රථයක් බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණය අසළින් පොලීසිය ඊයේ පස්වරුවේ සොයා ගත්තා. එහි තිබී ටී – 56 වර්ගයේ පතොරොම් ගැබක් ද සොයාගෙන ඇත.