බුදු දහමට අපහස එපා යයි ඉල්ලමින් මිනිසෙක් ගසක් උඩ විරෝධයේ
බුදු දහමට අපහාස වන අයුරින් සිදුකරන ක්‍රියා නතර කරන ලෙස ඉල්ලා ඊයේ පුද්ගලයෙකු මහනුවර නගරයේ ගසකට නැගී විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි යූ.ජී. සුගත් නමැති පුද්ගලයෙකු මෙලෙස මහනුවර වැව රවුම මාර්ගයේ පිහිටි අඩි 50ක් පමණ උස ගසකට නැඟී විරෝධතාවයේ නිරත විය.
ඔහු ඉල්ලා සිටියේ බුදුරුව වෙළද භාණ්ඩයක් ලෙස භාවිත කරමින් පුවත්පත්, දින දර්ශන,වෙසක් සුබ පැතුම් පත් ආදිය මුද්‍රණය කිරීම නතර කරන ලෙසය. මේ පිළිබඳ කිහිප අවස්ථාවකදීම බලධාරින් දැනුවත් කළ ද කිසිදු ප්‍රතිඵලයක් අත් වී නොමැති බැවින් ඔහු මෙලෙස විරෝධයේ නිරත වී තිබේ.
කෙසේවෙතත් ඊයේ පස්වරුවේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අදාල ස්ථානයකට පැමිණ කළ ඉල්ලීමකට අනුව ඔහු එම විරෝධය අවසන් කර තිබේ. මුලින් එම ඉල්ලීම පිළිගැනීමට ද විරෝධතාවයේ යෙදී සිටි පුද්ගලයා එකඟවුයේ නැති අතර තමන්ගේ විරෝධතාව අවසන් කිරීමට නම් මහානායක හිමියන් හෝ ජනාධිපතිවරයා පැමිණ පොරොන්දුවක් ලබා දිය යුතු බව ඔහු කියා සිටියේය. කෙසේවෙතත් පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් දිගින් දිගටම කළ පැහැදිලි කිරීමකින් පසු ඔහු සිය විරෝධතාව අවසන් කිරීමට එකඟතාව පළ කර තිබේ.