මංතීරු නීතිය අද සිට – ඉරි කැපුවොත් නඩු
කොළඹ මාර්ග කිහිපයක වාහන නියමිත මංතීරුවේ පමණක් ගමන් කිරීමේ නීතිය අද උදෑසන සිට මේ මස 10 වැනිදා දක්වා අකුරට ක්‍රියාත්මක කිරීම අත්හදා බලන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
මේ පිළිබඳව නෙත් නිව්ස් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙසේ පිළිතුරු ලබාදී තිබේ.
මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන මාර්ග?
දැනට තෝරාගත් මාර්ග කිහිපයක, එනම් මොරටුවේ සිට ගාලු පාරේ ගාලු මුවදොර එන්.එස්.ඒ. වටරවුම දක්වා, කොල්ලුපිටියේ සිට ඩුප්ලිකේෂන් පාර හෙවත් ආර්.ඒ.ඩී. මැල් මාවත බම්බලපිටිය දක්වා, බොරැල්ල සේනානායක හන්දියේ සිට ශ්‍රී ජයවර්ධනපුර පාරේ පොල්දූව දක්වා එමෙන්ම පෑලියගොඩ සිට නුවර පාරේ කිරිබත්ගොඩ සහ පෑලියගොඩ සිට මීගමු පාරේ වත්තල දක්වා යන මාර්ගවල මුලින්ම මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා.
මංතීරු නීතිය යනු කුමක්ද?
බර වාහන වම් මංතීරුවේ ගමන් කිරීම අනිවාර්යය වනවා. නමුත් එහිදී වැඩි වශයෙන්ම වම් මංතීරුවේ ගමන් කරවීමට බලාපොරොත්තු වන්නේ ලොරි, කන්ටේනර් සහ ළඟ ගමන් යන බස් රථ. දුර ගමන් යන බස් රථවලට වම් මංතීරුව ආසන්නයේම ඇති දකුණු මංතීරුවද භාවිතයට ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් යතුරු පැදි, බස් රථ වැනි වාහන නොසැලකිලිමත් ලෙස මංතීරු හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන්ම නවතාලීම මෙමගින් අපේක්ෂා කරනවා.
මංතීරු නීතිය දැඩිව කි‍්‍රයාත්මක කිරීමත් සමග වැරදි කිහිපයක් සම්බන්ධයෙන් රියැදුරන්ට එරෙහිව නඩු පැවරීමට පොලිස් නිලධාරීන්ට වැඩි බලයක් හිමිවනවා?
නොයෙකුත් වැරදිවලට රියැදුරන්ට දඩ පත්‍රිකා නිකුත් කිරීම මෙන්ම අධිකරණය ඉදිරියේ නඩු පැවරීම කරන්න පුළුවන්. එම වැරදිවලින් එකක් නොසැලකිලිමත් ලෙස රිය පැදවීම. එසේම තනි ඉර හෝ ඉරි දෙක කපාගෙන ගමන් කිරීම, එසේම මාර්ගයේ අනෙකුත් වාහනවල ගමනාගමනයට අවහිර වන ලෙස නවතා තැබීම ආදී නඩු ලබාගැනීමට බලාපොරොත්තු වනවා.