මරණ දඬුවම නියමවූ වාස්ගෙන් අභියාචනයක්

null

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට නියම කරන ලද මරණ දඩුවමට එරෙහිව අභියාචනයක් ගොනු කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පවසයි.

දින 14ක් ඇතුලත එය ගොනු කරන බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කර ඇත.

මොහොමඞ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු 6 දෙනෙකුට ඊයේ (27) මරණ දඬුවම නියම කෙරුණි. ඒ, මහාධිකරණ සභාපති විනිසුරු ලලිත් ජයසූරිය මහතා ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්.

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට මරණ දඬුවම නියම කළ පළමු අවස්ථාව ද මෙයයි. සාක්ෂිකරුවන් 130කට වැඩි පිරිසකගෙන් මෙම නඩුවට අදාළව සාක්ෂි විමසා ඇති අතර පිටු 800කට අධික නඩු වාර්තාවක් අධිකරණය මගින් සකස් කළ බව සභාපති විනිසුරුවරයා සඳහන් කරයි.

2013 වසරේ අප්‍රේල් මස 4 වන දාත්, මැයි මස 22 වන දාත් අතර කාලයේ කොළඹ දී මොහොමඞ් ෆවුස්ඞීන් සහ ක්‍රිශාන්ත කෝරළගේ සමඟ එක්ව මොහොමඩ් සියාම් නැමැත්තා මරා දැමීමට කුමන්ත්‍රණ කිරීම ඇතුළු චෝදනා 10ක් යටතේ මෙම සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබුණි. කෙසේ වෙතත්, මොහොමඞ් ෆවුස්ඩීන් සහ ක්‍රිශාන්ත කෝරළගේ රජයේ සාක්ෂිකරුවන් වීම ද විශේෂත්වයක්.

මරණ දඩුවම නියම කිරීමට පෙර විත්තිකරුවන්ට යමක් ප්‍රකාශ කිරීමට ඇත්දැයි විනිසුරු මඩුල්ල මොවුන්ගෙන් විමසා තිබුණි. එහිදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ප්‍රකාශ කර ඇත්තේ මොහොමඞ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා වගකීමකින් බැහැර කරන බවයි. තමා සියාම් නමැති කෙනෙකු නොහදුනන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබේ. රහස් පොලීසිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන පහර දී සාක්ෂි එකතු කර ඒවාට සරිලන ලෙස නඩු නිර්මාණය කරන බවයි වාස් ගුණවර්ධන අධිකරණය හමුවේ කියා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර තමා සමග ඇති පෞද්ගලික අමනාපයක් හේතුවෙන් තමාගේ පුත්‍රයා ද මෙම නඩුවට සම්බන්ධ කරගෙන ඇති බව ඔහු ප්‍රකාශ කර තිබේ. පුත්‍රයා මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ කර ගැනීමට තමාට කිසිදු වුවමනාවක් නොමැති බවයි වාස් ගුණවර්ධන අධිකරණය හමුවේ තවදුරටත් ප්‍රකාශ කර තිබුණි.

එම අවස්ථාවේදී වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන ද අධිකරණය හමුවේ කියා සිටියේ තමාගේ පියා රට වෙනුවෙන් විශාල කැපවීමක් කළ අයෙකු බවයි. ඒ වෙනුවෙන් ඔහුට සිද්ධ වූයේ සිරගෙදරට යාම බව ද රවිදු ගුණවර්ධන මෙහිදී කියා ඇත. සිය පියා සමඟ එකට සිර ගෙදරට යාමට ලැබීම ගැන තමා ආඩම්බර වන බවයි ඔහු විවෘත අධිකරණය හමුවේ කියා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>