මව සහ පුතු එකම දිනයේ ජීවිතයෙන් සමුගනී
මගෙ පුතේ උඹ දුක් විඳිනවා මට බලන් ඉන්න බෑ. උඹට කලින් මම මැරිලා යනවා නම් හොඳයි. මගෙ රත්තරන් පුතේ උඹ මතු බුදු වෙයන් කියලා අම්මා අයියාගේ ඔළුව අතගෑවා. ඒ එක්කම අම්මා සිහි නැතිවුණා.
එතකොටම ළග තිබුණු පුටුවක අම්මා ඉන්දවලා මුහුණට වතුර ඉස්සා. ඒ වුණත් සිහිය ආවේ නැති හින්දා ඉක්මනට අම්මා රඹුක්කන ඉස්පිරිතාලයට අරගෙන ගියා. ඊට පස්සේ දොස්තර මහත්තයා බලලා කීවා ටික වෙලාවකට කලින් අම්මා මිය ගිහිල්ලා තියෙනවා කියලා. ඊට පස්සේ අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා විනාඩි කීපයක්
ගතවෙද්දී ලෙඩ ඇඳේ හිටිය අයියාත් මියගියා යෑයි රඹුක්කන, ඊරියගොල්ල ගම්මානයම මහත් කම්පාවට හා ශෝකයට පත් කරමින් මියගිය වයි. කේ. කිරිඅම්මා (අවු. 70) සහ ඩී. ඡේ. ගාමිණී අවු( 45) යන තම මවගේ සහ සහෝදරයාගේ හදිසි වියෝවෙන් හඩා වැළපෙන වයි. කේ. වසන්ත අවු( 37) මහතා දිවයින පුවත්පත හමුවේ පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ මියගිය මාතාවගේ දියණියක වන ඩී. ජී. මානෙල් (අවු 48) මහත්මිය – අපේ පවුලේ ඔක්කොම 7 දෙනයි. අම්මයි තාත්තයි දරුවෝ 5 දෙනයි. මියගොස් ඉන්නේ මගේ අම්මයි, මල්ලියි. මගේ මල්ලී මාස 7 – 8 ක ඉඳලා පිළිකා රෝගයෙන් පීඩා වින්දා. ඇඳේමයි හිටියේ. මේ මාස ගාණම කෑවේ නෑ. බොන ජාති විතරයි. අම්මා මල්ලීට හරිම ආදරෙයි. නිතරම ළගමයි හිටියේ. හැම වෙලාවේම මල්ලීගේ ඔළුව අතගානවා. අඩනවා. හරියට දුක් වුණාලු. මල්ලීව සනීප කර ගන්න නොලැබීම ගැන පසුගිය දවස්වල අම්මා අහල පහළ අයගෙන් වගේම කඩවලට තිබූ ණය පවා ගෙව්වා. අම්මාට කියන්න තරම් අසනීපයක් තිබුණේ නෑ. ඒත් අම්මා මල්ලීගේ අසනීපය සුව වෙන්නේ නෑ කියලා හරියට දුක් වුණා.
ඩී. ජී. හේමන්ත මහතා අවු( 42) මේ මිය ගිය නැන්දම්මා… මට අම්මා කෙනෙක්. ඒ තරමට ආදරෙයි. ඒ වගේම මිය ගොස් සිටින මල්ලීට හරිම ආදරෙන් හිටියේ. ලෙඩ ඇඳේ ඉන්න කොට දහඩිය දානවා කියලා දවස් දෙක තුනකට ඉස්සර ටික ටික ගෙවන්න කියලා විදුලි පන්කාවක් එකක් ගෙනල්ලා මල්ලීට හුළං වැදෙන්න හයි කරවා ගත්තා. අම්මා නිතරම කීවා මගේ පුතේ උඹට මොනවා හරි වුණොත් මම නම් ජීවත් වෙන්නේ නෑ කියලා. හැම වෙලේම මල්ලීගේ ඔළුව අතගානවා අඩනවා.
උපදින්නටත් පෙර දරුවන් මරා දමන. ඉපදුණ දරුවන් මහ මග දමා යන එහෙමත් නැතිනම් උපන් දරුවන් සමග ඇතිකර ගන්නා බද්ධ වෛරයෙන් කපා කොටා ගලේ ගසා මරා දමන, නමට පමණක් මවු පදවිය ලැබූ කාන්තාවන් අතළොස්සක් හෝ සිටින රටක තම රතුවන් රුධිරය කිරිකර පොවා ඇති දැඩි කළ පුතුගේ අවසන් සුසුම් පොද වාතලයට මුසු කරන මොහොතක සිය දෙනෙතින් බලා සිටීමට නොහැකිව හදවත පැලී මියගිය මෙම උතුම් මාතාවගේ සහ පුත්රයාගේ අවසන් කටයුතු අද (30 දින) පස්වරුවේ කිරිවල්ලාපිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
සටහන රඹුක්කන – නිහාල් පුෂ්පකුමාර