මහල් නිවාසයෙන් වැටුණු දරුවාගේ මරණය අභිරහසක්
ඊයේ (24) වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ 22වන මහලින් ඇදවැටී දැරියක් මියගිය බව කියන සිද්ධිය අබිරහසක් බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගියේ වයස අවුරුදු 4 ක් වූ සපීනා නමැති දැරියකි. මෙම දැරිය එම නිවාස සංකීර්ණයේ වාසය කරන්නියක නොවු අතර ඇයගේ ඥාතීන් 11 වන මහළේ පදිංචිව සිටි බව කියැවේ.
වත්තල – මාබෝල ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය සිය දෙමව්පියන් සමග හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයට පැමිණ තිබුනේ ඇගේ මාමාගේ නිවසටයි. ඒ මිට දින 2කට පෙරය.
ඊයේ (24) උදෑසන එම දැරිය සිය ඥාතී වැඩිමහල් සොයුරියක සමග සෙල්ලම් කරමින් සිට පහළ මහළක සිට විදුලි සෝපානයෙන් ගමන් කර තිබෙන අතර එහිදී ඇයට වතුර තිබහ බව ඥාතී සොයුරියට පවසා තිබේ. ඒ අනුව එම ඥාතී සොයුරිය ඇයට බිමට ජලය රැගෙන ඒමට නැවත නිවසට ගොස් පැමිණෙද්දී කුඩා දැරිය තනිවම සෝපානයේ ඉහලට ගමන් කර තිබෙන බව පරික්ෂ වලදී අනාවරණය වී තිබේ.
සෝපානය 22 වන මහලටම ගොස් ඇති අතර ඉන් අනතුරුව ඇය ගොඩනැගිල්ලෙන් පැන්නාද තල්ලූ කළාද හෝ වෙනත් දෙයක් සිදුවුණාද යන්න තවමත් පරීක්ෂණ සිදුකෙරේ.
කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ දැරියගේ මළ සිරුර සොයාගෙන ඇත්තේ නිවාස සංකීර්ණයේ දෙවන මහලේ තිබියදී බවයි. එය පාවී ගොස් දෙවන මහළට වැටුණාදැයි සැකකෙරේ.
නිවාස සංකීර්ණයේ සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂාවට ලක් කළද දැරියගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට පොලිසියට මේ වනවිටත් හැකියාව ලැබි නැත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලබා සිටි මෙම දැරිය ජීවිතක්ෂයට පත්වුණේ කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.