මිනුවන්ගොඩ බිහිසුණු රන් කොල්ලය

null

මුස්‌ලිම් ජාතික බැතිමතුන් රාමසාන් උත්සවය වෙනුවෙන් නිරාහාරව සිටිති. පල්ලියේත් අලුයම ආරම්භ වන යාඥවෙන් අනතුරුව ආහාර ගැනීම නවතාලන ඔහු නෝම්බි ඇල්ලීම ආරම්භකොට නැවත සවස පල්ලියෙන් ඇසෙනා යාඥවෙන් පසු ආහාර ගැනීම ආරම්භ කරනු ලබයි.

ඉකුත් 07 වැනිදා ද සවස 6.30 පසු වී මිනුවන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි මුස්‌ලිම් දේවස්‌ථානයේ ධර්ම දේශනාව ආරම්භ විය. ඉන් අනතුරුව එම දේවස්‌ථානය ආසන්නයේම පිහිටි රන් ආභරණ වෙළෙඳසල් හිමිකරු සහ සේවකයන් දෙදෙනෙක්‌ ආහාර ගෙන නෝම්බි අතහැර වෙළෙඳසල වසා නිවෙස්‌වලට යැමට ප්‍රදර්ශනයේ ඇති ස්‌වර්ණාභරණ ආරක්‌ෂිත සේප්පුවේ තැන්පත් කිරීමට පෙට්‌ටිවලට අසුරමින් සිටින විට වේලාව රාත්‍රී හත පසුවී තත්ත්පර කිහිපයක්‌ ගෙවුණා පමණි. ජැන්ඩියට හැඳ පැළඳගත් යුවළක්‌ මංගල මුදුවක්‌ මිලට ගැනීමට වෙළෙඳසලට පැමිණියහ.

රන් භාණ්‌ඩ හිමිකරු එම යුවළට මුදු පෙන්වමින් මුදුවක්‌ අලෙවි කිරීමට උත්සාහ කළද තරුණිය සමඟ පැමිණි තරුණයාට මුදුවක්‌ ගැනීමේ කිසිදු අවශ්‍යතාවක්‌ තිබුණේ නැත. ඔහුට අවශ්‍ය වී තිබුණේ එක්‌ මුදුවක්‌ නොව එම රන් භාණ්‌ඩ අලෙවිසලේ ඇති සියලුම රන් භාණ්‌ඩ රැගෙන යැම බව කැමරා දර්ශන තුළින් අනාවරණය විය. එම යුවළට රන් මුදු පෙන්වමින් සිටින විට හිමිකරු දකින්නේ බිහිසුණු දර්ශනයකි. ඒ ගිනි අවි අමෝරාගත් සිව් දෙනකුගෙන් දෙදෙනකු වෙළෙඳසල ඇතුළට පැමිණ මරණ බවට තර්ජනය කිරීමකි. ඉන් අනතුරුව එක්‌ විනාඩියක්‌ තුළ මැවුණේ බිහිසුණු දර්ශන පෙළකි. එක්‌ කොල්ලකරුවකු ටී. 56 ගිනි අවියක්‌ එල්ලකර ගනිමින් අණකර සිටියේ වෙළෙඳ සල හිමිකරු වූ ඩී. එම්. එස්‌. මොහිඩීන් (අවු. 48) මහතාටත් රන් භාණ්‌ඩ මිලට ගැනීමට ආ යුවළටත් එක්‌ සේවකයකුටත් සිටි තැන්වලම අත් ඔසවා සිටින ලෙසය. රන් භාණ්‌ඩ ප්‍රදර්ශනය කරන මේසය උඩින් පැනගත් කොල්ලකරුවකු හිමිකරු වෙත ගොස්‌ ඔහුට අතින් පහරක්‌ එල්ලකොට බිය ගන්වා කොල්ලකරුවෙකුගේ කරේ එල්ලෙමින් තිබූ බෑගයක්‌ තුළ තිබූ විශාල ප්‍රමාණයේ කවරයක්‌ එළියට ගෙන රන් භාණ්‌ඩ ඇසුරුම් පෙට්‌ටි කිහිපයක්‌ එය තුළ බහා මේසය උඩින් පැන පලායැමට තැත් කිරීමේදී හිමිකරු එය අනුගමනය කරමින් මේසය උඩින් පැන කොල්ලකරු පිටුපස හඹාගියේ තම මරුවා තමා පිටුපස හඹා එන බව නොදැන විය හැකිය.

රන් භාණ්‌ඩ බෑගයට දාගත් කොල්ලකරුවාව අල්ලා ගැනීමට මුදලාලිගේ මුලික අභිප්‍රාය වුවත් මරාගෙන මැරෙන්න සූදානම් වූ මුදලාලි මෙන්ම කොල්ලකරුවන්ද ඊට සූදානමින් සිටියහ. දුක්‌ මහන්සියෙන් හම්බකර ගත් තම රන් භාණ්‌ඩ රැගෙන යන කොල්ලකරුවන් මෙල්ලකර ගැනීමට මුදලාලි උත්සාහ කරන අවස්‌ථාවේදී තම සගයා බේරා ගැනීමට ඔවුන් පිටුපසින් ආ ටී 56 ගිනි අවිය රැගත් කොල්ලකරුවා කටයුතු කළේ ආදරණීය බිරිඳකට සහ දරු තිදෙනකුටත් සමාජයේ යහපත් පුරවැසියෙකුත් අහිමි කිරීමය. හිමිකරුට වෙඩි පහරවල් හතරක්‌ එල්ල කළ කොල්ලකරුවෝ සිව්දෙනා යතුරුපැදි දෙකෙන් පලායද්දී මංගල මුදුවක්‌ ගැනීමට පැමිණ සිටි යුවළද හෙමින් සීරුවේ එම ස්‌ථානයෙන් මාරු වී යන අයුරු සීසීටීවී කැමරාවල ප්‍රදර්ශනය වේ.

අපරාධයක්‌ වූ කලී එම අපරාධකරුවා යම් හෝඩුවාවක්‌ තබා යන්නේ යෑයි යන මතය මත මිනීමැරුම සිදුකළ කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පද්මසිරි මුණසිංහ, සහකාර පොලිස්‌ අධිකාරි චන්දන කොඩිතුවක්‌කු, මිනුවන්ගොඩ වැඩබලන පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අයි. පී. කේ. ගුණවර්ධන, අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පො.ප. සුමිත් ගුණවර්ධන ඇතුළු නිලධාරීන් සමඟ පොලිස්‌ විශේෂ කාර්යාංශය පරීක්‍ෂණ සිදු කරනු ලබයි. සිද්ධිය සැලවීමත් සමග එම ස්‌ථානයට පැමිණ සිටි ගම්පහ කොට්‌ඨාසයේ සහකාර පොලිස්‌ අධිකාරිවරයකු මාධ්‍යවේදීන්ට බැණ වදිමින් සත්‍ය තොරතුරු සොයා ගැනීමට බාධා කිරීමත්, තමන්ට අයිති නැති කොට්‌ඨාසයකට පැමිණ එසේ සිදු කිරීම සම්බන්ධවත් පොලිස්‌පතිවරයාගේ අවධානයට ලක්‌විය යුත්තක්‌ බවට මෙම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කරන්නෙමු.

(මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක)

එම සිද්ධියේ CCTV දර්ශන පහතින් නරඹන්න…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>