මෙන්න ලංකාවේ පොලීසිය – ඡන්ද අයිතිය ඉල්ලූ අසරණයන්ට නිරුවත් කර පහරදෙයි
මඩකලපුව මංගල ගම ප්‍රදේශවාසීන් තම ඡන්ද අයිතිය ඉල්ලා සාමකාමී විරෝධතාවක නියැලී සිටියදී පොලිස් ප්‍රහාරයකට ලක් වී ඇති බව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වන කැෆේ ආයතනය පවසයි.
පසුගියදා සන්ධාන මැතිවරණ ප්රචාරක රැළියක් අතරතුර එම ගම්මානයේ සිංහල වැසියන් ඡන්ද අයිතිය ඉල්ලමින් එම රැලිය වෙත සාමකාමිව පා ගමනින් ගොස් ඇත. ඔවුන් යුද්ධයෙන් පසු මඩකලපුව ප්‍රදේශයේ යළි පදිංචියට පැමිණි සිංහල වැසියන් වේ. කාලයක් තිස්සෙම එම ගම්මානයේ වැසියන්ට රජයෙන් කිසිදු පිළිසරණක් ලැබී නොමැත. නමුත් ඔවුන් ඉල්ලා සිටියේ යුද්ධයෙන් රට බේරාගත් ජනාධිපතිතුමාට ඡන්දය ප්‍රකාශ කිරීමට තමන්ටත් අවස්ථාවක් ලබාදෙන ලෙස පමණි.
එම සාමකාමී විරෝධතාව අතරතුර ඔවුන් වෙත කඩා වැදුණු නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් හාමුදුරුනමකට සහ ගැබිණි මාතාවකට පහරදී තිබේ. තවත් අසරණ පුද්ගලයෙකුට නිරුවත් කර පහරදී තිබේ.
පහරකෑමට ලක්වූ අම්පිටියේ සුමනරතන හිමියන් බීබීසී පුවත් සේවයට අදහස් දක්වා තිබුනේ මෙලෙසිනි,
‘එක පාරටම මගේ සිවුරෙන් ඇදල අරගෙන මට පහර දෙන්නට පටන් ගත්ත. එතන හිටිය ඡන්ද අයිතිය නැති තරුණ පිරිසක් හාමුදුරුවන්ට ගහන්න එපා කියල කා ගැහුවා. මාව අත හැරියට පස්සේ එතන හිටිය බඩ දරු අම්ම කෙනෙකුට පහර දුන්න. ඒ අම්ම වැටුනා. මම ඒ අම්මව බේර ගෙන ඉස්සරහට තල්ලු කරනවත් එක්කම මාව බේරගත්ත තරුණයව අල්ලාගෙන ඇඳුම් ගලවල ජැකට් එකකින් මුහුණ වහල පහර දෙන්න පටන් ගත්ත.’
‘මම මේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට පක්ෂපාතී වෙලා නැහැ. ජාතික අවශ්‍යතාවක් ඉටුකර ගන්නට මම කටයුතු කරන්නේ. අපේ අහිංසක ජනතාව යුද්දෙන් මේ රට බේරගත්ත ජනාධිපතිතුමාට ගරු කරනවා. නමුත් ජනාධිපතිතුමාට මේ සිද්ධිය මේ වන විට සැල වෙලා හමාරයි. අද පුළුවන්කමක් තියෙනවා මේ සිංහල ජනතාවට රෙදි ගලවලා ගහපු නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන්න. නමුත් මෙතෙක් එය වෙලා නැති එක ගැන අපි කනගාටු වෙනවා.’
බිබීසී සේවය මෙම ප්‍රහාරය පිළිබඳව පොලිසියේ ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා මඩකලපුව පොලිසිය අමතා ඇති අතර ඔවුන් කියා ඇත්තේ ඒ ගැන කිසිවක් තමන්ට ප්‍රකාශ කළ නොහැකි අතර පොලිස් මාධ්‍ය අංශය අමතා විස්තර ලබා ගන්නා ලෙසයි.