මේ වතාවේ පෙම්වතිය ගැන කියන්න කට ඉස්සර කරගන්නේ නෑ

null

මේ දින වල තිරගත වන ජැක්සන් ඇන්තනි මහතා අධ්‍යක්ෂණය කළ ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ඔහුගේ පුත් අකිල ධනුන්දර චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර සහ ඔහුගේ පෙම්වතිය පිළිබඳව මව්බිම පුවත්පතට මෙසේ අදහස් දක්වා තිබේ.

ඇඩ්‍රස් නෑ චිත්‍රපටය නිසා ලැබෙන ප්‍රතිචාර කොහොමද…? අකිලට ඇඩ්‍රස් නැති වෙයිද…?
අනේ නෑ. චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ඇත්තටම හොඳයි. මගේ රංගනයට ඔක්කොම ලැබුණේ ඇඩ්‍රස් තියෙන ප්‍රතිචාර. ඒ ගැන සතුටුයි.
මේ චිත්‍රපටයේ අකිල කියන්නේ මහ ලොකු චරිතයක් නෙවෙයි.
මාව පේන්න කලින් මහා නළු පෞරුෂයන් හතරක් පහක් පහු කරගෙන එන්න තියෙනවා. ඒ නිසා ඔවුන්ට තියෙන ප්‍රතිචාර ඉතා විශාලයි. මටත් ඒ හා සමානව ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන මම ආඩම්බරයි.

අකිලට මේ දැවැන්ත නළු පෞරුෂයන් ළඟදී හීනමානයක් ඇති වෙලා වගේ…

ඔව් ඉතින්… ඒ වගේ නළු පෞරුෂය එක්ක රඟපානවා කියන්නේ ඇත්තටම ලොකු පීඩනයක් ඇති වනවා කියන එක තමයි. මම නළුවෙක් වෙන්න කලින් ඉඳලම මේ බොහෝ දෙනෙක්ව නැන්දලා, මාමලා විදියට ඇසුරු කරලා තිබුණා. ඒ නිසා විශාල ගැටලුවක් ඇති වුණේ නෑ. ඒත් එහෙම අත්දැකීම් නැති මම වගේ ආධුනිකයෙක්ට නම් මේක විශාල පීඩනයක් වන්න ඉඩ තිබුණා. කැමරාව ඉස්සරහා ඉන්න ගමන් මමත් ප්‍රේක්‍ෂකයෙක් වුණා. මොකද එයාලගෙන් ඒ තරමටම ඉගෙන ගන්න දේවල් තිබුණා.

ඇඩ්‍රස් නෑ තිරගත වෙද්දී තව චිත්‍රපට තුනක් එක්ක ජාත්‍යන්තර සිනමා උළෙලකුත් පැවැත්වෙනවා. මේ තත්ත්වය චිත්‍රපටයට බාධාවක් නෙවෙයිද…?
අපිට වළක්වන්න බැරි දේවලුත් තියෙනවානේ. චිත්‍රපටය එන්නෙත් පෝලිමක ඉඳලා. කාලය, දීපය, දේශය බලලා චිත්‍රපට පෙන්වන්න බැහැ. මොන ප්‍රශ්නය ආවත් අපේ නිර්මාණය හොඳයි නම් මේ දේවල් මහ ලොකු බාධාවක් වෙන්නේ නැහැ. සමහර විට ඔය කියන දේවල් වගේම වර්ෂාවත් බාධාවක් වෙන්න ඇති. හැබැයි මේ චිත්‍රපටයට ඉලක්ක කරලා තියෙන ප්‍රේක්‍ෂාගාරය අපි කොහොමටත් ආවරණය කරනවා.

“ඇඩ්‍රස් නෑ” අකිලගෙ දෙවැනි චිත්‍රපටය. රංගනය ගැන සෑහීමට පත්වෙන්න පුළුවන්ද?
මම මම ගැන කවදාවත් සෑහීමකට පත් වන්නේ නැහැ. මේ චිත්‍රපටය මගේ පළමු වැනි චිත්‍රපටයට වඩා හොඳයි කියලා මම දන්නවා. නමුත් මම ඉන්නේ නළු ගෙදරක් ඇතුළේනේ. ඉතින් විවේචන ගොඩයි. මට කලිනනේ ඒ අය පටන් ගත්තේ. අක්කා ඉන්නවා. චූටි මල්ලි ඉන්නවා. තාත්තයි, අම්මයි කියන්නේ මහා දැවැන්තයෝ. මේ අය ඉස්සරහා මට මගේ රංගනය සම්බන්ධයෙන් සෑහීමට පත්වන්න බැහැ.

ජැක්සන් ඇත්තනී අධ්‍යක්‍ෂණයේදී ආධිපත්‍යය පතුරවන අධ්‍යක්‍ෂවරයෙක් නේද…? ඔබත් දර්ශන තලයේදී ඒ පීඩනයට හසු වුණාද…?
අනේ නැහැ. මම කවදාවත් රංගනයට එන්නේ නෑ කියලා හිතපු කෙනෙක්. අද මම රංගනයට ආවා කියන හැඟීම මගේ අප්පච්චිට විශාල සතුටක්. එහෙම ආපු මට කිසිම පීඩනයක් ඇති කළේ නැහැ. අධ්‍යක්‍ෂවරයෙක් විදියට ඔහු මට කවදාවත් රඟපාන්නේ මෙහෙමයි කියලා පාඩම් කියා දීලත් නැහැ. අපේ අධ්‍යයනය ලබා ගත්තේ අපි දකින දේවල්වලින් තමයි.

“ඇඩ්‍රස් නෑ” චිත්‍රපටයේ අකිලට වැඩි බරක් අදින්න තිබුණේ නැහැ. ඔයාව චිත්‍රපටයේ හිතපු තරම් මතු වුණේ නැහැ නේද…?
ඔව් ඉතින් මම මතු වුණේ නැතත් මොකෝ…? ඒ වගේ පිරිසක් එක්ක රඟපාන්න ලැබීම පවා භාග්‍යයක්නේ. ඒකට හේතුව තමයි චිත්‍රපටයේ විශාලත්වය. චිත්‍රපටයේ ඉන්න සියලුම චරිත වගේ ප්‍රධාන චරිත. ඒ පිරිස අතර මටත් නළුවෙක් වන්න ලැබීම භාග්‍යයක්.

අකිලට ඇඩ්‍රස් නැති පන්තිය ගැන අවබෝධයක් තියෙනවද?
එහෙම ලොකුවට අවබෝධයක් නෑ. ඒ වුණාට දැනගන්න ඕන දේවල් ටික දන්නවා. 1990 දශකයේ ලංකාවේ හිටපු ඇඩ්‍රස් නැති පන්තිය බොහොම කලාකාමී පිරිසක්. අප්පච්චි කියා දෙන කතා අපි අහලා තියෙනවා. ඒ දේවල් ඇතුළටම කි¼දා බැහැලා දකින්න නම් ලැබිලා නැහැ.
චිත්‍රපටයේ රූගත කිරීම් කොයි වගේ අත්දැකීමක් වුණාද…? කතා කරන අත්දැකීම නම් ඉතාම කටුක එකක්.
මේ චිත්‍රපටය ඉතාම සූක්‍ෂ්මව කරපු එකක්. චිත්‍රපටය දවස් 21න්් රූගත කරපු විදිය හරිම ප්ලෑන් එකක්. කාලසටහනකට අනුව කරන යුද්ධයක්. ඒ යුද්ධය ඇතුළේ තිබුණ වින්දනීයම අත්දැකීම තමයි ඒ යුද්ධය කරන දිහා බලාගෙන සිටීම. ඊට එහා දෙයක් නම් මට මතකම නෑ.

මේ දවස්වල අකිල මොකද කරන්නේ?
දැන්නම් ජිම් එකේ ඇඟ හදනවා. “ඩ්‍රීම්ස් ස්ටාර් සීසන් 6″ ෆයිනල් තියෙනවා දෙසැම්බර් 5 වැනිදා. ඒකට සූදානම් වෙනවා.

හදිසියේ ඇඟ හදාගන්න හිතුනේ ඇයි?
මට වුවමනා වුණා ඊළඟ චරිතයට කෙට්ටු ශරීරයක් හදාගන්න. ඒ නිසා මාස ගාණක් ව්‍යායාම කළේ නෑ. ඒත් අවසාන මොහොතේ රූගත කිරීම් සැලැසුම් කිරීමේ ප්‍රශ්නයක් නිසා ඉක්මනටම මහත් වෙන්න සිදු වුණා. මොකද මුලින්ම රජ චරිතයට රඟපාලා තමයි දෙවැනි චරිතයට සූදානම් වෙන්න තියෙන්නේ. කෝකටත් තියෙන්නේ මාසයයි. මම කොහොමහරි ඉතින් ඇඟ හදාගන්නවා. ඒක කොහොම හරි කරනවාමයි.

නළුවෙක් වෙන්න මහන්සි ගන්න අකිල පෙම්වතෙක් කියලාත් දැන් කවුරුත් දන්නවා. පෙම්වතියගෙ නම ගම විස්තර කියමුද…?
මේකයිනේ, කලින්පාර මට මම නළුවෙක් කියලා අමතක වුණා. ඒ නිසා හැමදේම මාධ්‍යවලට ප්‍රකාශ කළා. ඊට පස්සේ ඒ සම්බන්ධය අපි අතර තිබුණ නොගැළපීම් නිසා නතර වුණාම ඒක හැමෝටම මහ ලොකු ප්‍රවෘත්තියක් වුණා. ඒ නිසා මේ වතාවේ මම මගේ කට ඉස්සර කරගන්න සූදානම් නෑ. මට පෙම්වතියක් ඉන්නවා. අපි බොහොම සාමාන්‍ය විදියට පෙම්වතුන් ලෙස හැසිරෙනවා. ඇය තමයි මගේ පෙම්වතිය. අපි හරි ආදරයෙන් ඉන්නවා. ඒ කවුද කියලා කියන්න මම හදිසි වෙන්නේ නැහැ.

(වාසනා සුරංගිකා විතානගේ)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>