මොස්‌කව් ගින්නට ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍යයා බිලි

null

රුසියාවේ මොස්‌කව් ජාතික පර්යේෂණ විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරෙ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍යයකු එහි නේවාසිකාගාරයේ හටගත් ගින්නකට හසුව මියගොස්‌ ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ කළුතර පලාතොට පදිංචිව සිටි මිහිර උවිඳු විඡේරාම නමැති 22 හැවිරිදි ශිෂ්‍යයෙකි.

මහල් 16 කින් යුතු නේවාසිකාගාරයේ 12 වැනි මහලේ මොහු නවාතැන් ගෙන සිට ඇති අතර අප්‍රේල් 23 වැනිදා රාත්‍රියේ ගින්න හටගෙන ඇත්තේ එහි 7 වන මහලේ ය. නේවාසිකාගාරයේ සිසු සිසුවියන් එහි රවුම් පඩිපෙළක්‌ ඔස්‌සේ ගොඩනැඟිල්ලෙන් පිටතට යමින් සිටියද සිසු සිසුවියන් 40 දෙනකු ගින්නට හසුව පිළිස්‌සුම් තුවාල ලබා ඇත.

ඉන් 09 දෙනකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර මිහිර උවිඳු ද ඉන් එක්‌ අයෙකි. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අප්‍රේල් 28 වැනිදා රාත්‍රියේ ඔහු මියගොස්‌ ඇත.

තානාපති කාර්යාල නිලධාරීන් උවිඳුගේ දෙමාපියන්ට දන්වා ඇති පරිදි ඔහු මියගොස්‌ ඇත්තේ පිළිස්‌සුම් තුවාල හා ගින්න නිසා හටගත් කාබන් මොනොක්‌සයිඩ් වායුව ආඝ්‍රාණය වීමෙන් ය.

ගොඩනැඟිල්ලේ එක්‌ මහලක තිබූ උඳුනක්‌ පුපුරා යැමෙන් ගින්න හට ගන්නට ඇතැයි සැක කරයි. මිහිර උවිඳුගේ පියා වූ එච්. ඡේ. විඡේරාම මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරිවරයකු වශයෙන් සේවය කර සිට දැනට විශ්‍රාමිකව සිටී.

මව වන දීපිකා අමරතුංග මහත්මිය කළුතර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ කාර්යාලයේ කළමනාකරණ සහකාරවරියක වශයෙන් සේවය කරන්නීය. ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන විමුක්‌ති විඡේරාම ඩයලොග් සමාගමේ සේවය කරන අතර බාල සොහොයුරිය විනුරි විඡේරාම කළුතර බාලිකා ජාතික පාසලේ ඉගෙනුම ලබන්නීය.

මිහිර උවිඳු පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්‌වා අධ්‍යාපනය ලබා කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන් උසස්‌ අධ්‍යාපනය ලැබූ අයෙකි. ඔහු රුසියාවේ මොස්‌කව් විශ්වවිද්‍යාලයට ගියේ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලද ශිෂ්‍යත්වයක්‌ මතය. මොහු සමඟ ශ්‍රී ලාංකික සිසුවියන් පස්‌දෙනකු එහි අධ්‍යාපනය ලැබු බව කියති.

මිහිර උවිඳුගේ දේහය ඊයේ (03 දා) ගුවන් මගින් මෙරටට ගෙන ඒමට නියමිතව තිබූ අතර අවසන් කටයුතු මැයි මස 06 වැනිදා බදාදා සවස කළුතර පලාතොට හිමිදිරියාව සුසාන භූමියේදී සිදු කෙරේ.

විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>