යුරෝපයෙන් මෙරට මාළු මිලදී ගැනීම නවතයි
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් මිලදී ගනු ලබන මත්ස්‍ය නිෂ්පාදන නවතා දැමීමට සූදානම් වන බව වාර්තා වේ. ශ්‍රී ලංකාව මගින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් මෙම තීරණයට එළඹි බව යුරෝපා කොමිසම විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඒ අනුව මාස 3ක කාලයකින් පසු මෙම මත්ස්‍ය නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් මිලදී ගැනීම නවතන බව නිල වශයෙන් දන්වා තිබේ.
යුරෝපා රටවල් වෙත මත්ස්‍ය නිෂ්පාදන අපනයනයෙන් උපයන මුදල රුපියල් බිලියන 22කි.
ශ්‍රී ලංකාව ඇතුළු බෙලීස්,ෆීජි,පැනමා,ටෝගෝ, වනවාටු යන රටවලට යුරෝපා කොමිසම විසින් මීට පෙරාතුව මත්ස්‍ය නිෂ්පාදයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම පිළිබඳ උපදෙස් ලබාදී තිබුණු අතර එසේ නොකරන්නේනම් මත්ස්‍ය නිෂ්පාදන මිලදී නොගන්නා බවට අනතුරු ඇඟවීම් සිදුකර තිබිණි.
එසේ වුවද ශ්‍රී ලංකාව දිගින් දිගටම එම ප්රමිතීන් ආරක්ෂා කිරීමට නිසි පියවරක් නොගත් බැවින් මෙලෙස මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම නවතා දැමීමට තීරණය කළ බව යුරෝපා කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.
ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසා ඇත්තේ යුරෝපා සංගමය දැනට රතු කාඞ්පතක් ශ්‍රී ලංකාව වෙත නිකුත් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් හෙට දිනයේ යුරෝපා සංගම් නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවත්ය.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කලේ යුරෝපා කොමිසම විසින් පනවා ඇති කොන්දේසී මාස තුනක් ඇතුළත ඉටු කිරීමට බලාපොරොත්තු වන බවයි.