රත්නපුරේදී මොකද වුණේ? – ගුටි කෑ ස්ත්‍රීය පවසයි
රත්නපුරයේදී පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික පහර කෑමට ලක්වන කාන්තාවකගේ වීඩියෝවක් පසුගිය දින වල අන්තර්ජාලය පුර කතා බහට ලක්විය. දැන් මෙම සිද්ධියේ සියලු කාරණා අනාවරණය වී අවසන්ය. ඒ පහරකෑමට ලක්වන කාන්තාව සද්ධිය මාධ්‍යට පැවසීමත් සමගයි. එම කාන්තාව තමාට පොලිස් සැරයන්වරයා විසින් පහරදෙනු ලැබුවේ ඔහුත් සමග යහන්ගතවීමට නොගිය නිසා බව පවසයි.
රත්නපුර,කනාදොළ ප්‍රදේශයේ පදිංචි ඇය කියා සිටියේ දින කිහිපයකදී මෙම පොලිස් නිලධාරියා තමාට අයුතු යෝජනා කළ නමුත් තමන් විසින් එකී යෝජනාව ප්‍රතික්ෂේප කළ බවයි.
අසරණකමට දරුවන්ට කෑම බීම ලබාදීම සඳහා තමන් යම් මුදලක් සොයාගැනීමට පිරිමින් සමග ගියද තමන් පිළිබඳ වැරදි ලෙස නොසිතන ලෙස ඒ මොහොතේ පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා සිටි බවද ඇය කියා සිටියි. ඊට පසුවත් එම පොලිස් නිලධාරියා අයුතු යෝජනා කළද තමන් දැඩි සේ ප්‍රතික්ෂේප කළ බැවින් ඔහු තමන් සමග වෛර බැඳගෙන සිටි බව ඇය පවසයි.
ඒ අනුව මෙම පොලිස් නිලධාරියා තවත් කාන්තාවකට තමන් සමග ගැටුමක් ඇති කරගන්නා ලෙස උපදෙස් දී ඇති බැවින් එම කාන්තාව තමා සමග ගැටුමක් ඇති කරගත් බවත් ඒ අතරවාරයේ පැමිණි පොලිස් නිලධාරියා තමාට අසභ්‍ය වචනයෙන් බැණවැදී වයරයකින් පහරදුන් බවත්, අනතුරුව බිම දමාගෙන පයින් පහරදුන් බවත් ඇය කියා සිටියි.
මෙම පහරදීම රත්නපුර බස්නැවතුමේ කෝප් සිටි ඉදිරිපිටදී සිදුව තිබේ. පසුව ඇය පහරදීම පිළිබඳ පැමිණිල්ලක් කිරීමට පොලීසියට ගියද ඒ මොහොතේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නොසිටි බැවින් තමන් ආපසු හැරී පැමිණි බවත්, නැවත පැමිණිල්ලක් කිරීමට නොගිය බවත් ඇය පවසයි.
ඇයගේ සැමියා පවසා ඇත්තේ පහරදීමෙන් පසු ඇයගේ පපු පෙදෙස රිදෙන බව නිතර කියා සිටින බවත්,විටෙන් විට වමනය යන බවත්, ඒ අවස්ථාවේදී වමනය සමග ලේ පිටවන බවත්ය. ඒ නිසාම ඇය මේවන විට සිටින්නේ වේදනාවෙන් වුවත්, පහරදෙනු ලැබුවේ පොලිසියේ මහත්තයෙක් නිසා ලජ්ජාවටත්, බියටත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්ගතවීමට කල්පනා නොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසා ඇත්තේ එම පහරදීම සිදු කරන පොලිස් නිලධාරියා හඳුනාගෙන ඔහුගේ වැඩතහනමට ලක්කර ඇති බවය.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාල කාන්තාවගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට නොහැකිවී ඇත්තේ ඇය මේවන විට ප්‍රදේශයේ නොමැති නිසා බව පවසන ඒ මහතා ඇය සොයා ගැනීමෙන් පසු ඇයගෙන් සාක්ෂි ලබාගෙන පොලිස් නිලධාරියාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අමතරව ඔහු අපරාධයක් සිදුකර ඇත්නම් අපරාධ නීතිය අනුවද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත්ම පසුබට නොවන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.