රසකැවිලි බෙදාගැනීමට නොහැකිව අක්කා නංගිව මරා දමයි
මොණරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ නිවසකදී 14 හැවිරිදි අක්කා 6 හැවිරිදි තම නැගණියව පිහියෙන් ඇන ඝාතනය කිරීමේ අවාසනාවන්ත සිද්ධියක් වාර්තා වේ.
මෙම දරුවන්ගේ පියා රසකැවිලි පාර්සලයක් ගෙනත්දී ඇති අතර එය බෙදාගන්නට බැරිව සොයුරියන් දෙදෙනා දිගින් දිගටම රණ්ඩු වෙමින් සිටින විට වැඩිමල් සොයුරියට පියා තරවටු කර ඇත්තේ රණ්ඩුව නතර කරන ලෙසයි. මෙයින් කෝපයට පත්වූ ඇය තම නැගණියව නිවස පිටුපස ලඳු කැලා පෙදෙසකට කැඳවාගෙන ගොස් පිහියෙන් යටි බඩට ඇන ඇත.
පසුව දෙමව්පියන් ඇයව රෝහල්ගත් කර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ ගසකින් වැටි තුවාල සිදු වුනු බවයි. බරපතල තුවාල ලබා සිටි දැරිය බඩල්කුඹුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මේ සම්බන්ධව සිධු කල පොලිස් පරීක්ෂණ වලදී දෙමව්පියන් පවසා ඇත්තේ බොරුවක් බවත් පහරදීම සඳහා පිහියක් යොදාගෙන තිබෙන බවත් හෙළිවී ඇත. මියගිය දැරියගේ ශරීරයේ කැපුම් පහරවල් 10කට වැඩි ප්‍රමාණයක් තිබු බව වෛද්‍ය වාර්තා වල සඳහන් වෙයි.
මෙම දැරියන්ගේ මව මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස විදේශගතව සිට මීට මාස 3කට පමණ පෙර නිවසට පැමිණ ඇති අතර ලබන සතියේ ඇය නැවත වරක් විදේශගත වීමට සුදානමෙන් සිට ඇත. මවගේ විදේශගත වීමෙන් පසුව පාසල් ගමන නතර කල ඇති මෙම වැඩිමහල් දැරිය නිවසේ වැඩ පල කිරීමට යොමුව ඇත. ඇය මේ පිළිබඳවද නොරිස්සුමෙන් කාලය ගත කර ඇති බව වාර්තා වේ. එමෙන්ම නිවසේ කාලය ගත කිරීමේදී ඇය දෙමල හා ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීමට වැඩි වශයෙන් යොමුව තිබේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙම 14 හැවිරිදි දැරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයව අද (22) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.