ලංකාවට PayPal පහසුකම දෙන්න රජය සූදානම්

null

අන්තර්ජාතිකව මිලියන ගණනාවක් භාවිතා කරන ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමයක් ලෙස PayPal ප්‍රසිද්ධ ය. මෙය අතිශයින් පහසු ගෙවීම් ක්‍රමයක් ලෙස ලොව පුරා හඳුනාගෙන තිබේ.

නමුත් මෙතෙක් ශ්‍රී ලංකාවේ මෙම පහසුකම ලබාදී නොතිබුණි. ලංකාවේ සිට PayPal මාර්ගයෙන් වෙනත් රටක සිටින කෙනකුට මුදල් යැවිය හැකි වුවත් වෙනත් රටක සිට එවන මුදල් ලබා ගත නොහැකි තත්ත්වයක් පසුගිය කාලය පුරා පවතී.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ෆේස්බුක් ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ලංකාවට PayPal පහසුකම ලබා දෙන්නට වහාම කටයුතු කරන බව යි.

අමාත්‍යවරයා නිකුත් කර තිබූ පණිවිඩය පහතින්…

“මේ පහසුකම ලබා දෙන්නැයි බොහෝ කාලයක් තිස්සේ දේශීය මෘදුකාංග නිමැවුම්කරුවන් ඇතුළු අපනයනකරුවෝ රජයෙන් ඉල්ලා සිටියහ. එයට හේතුවක් නම් සුළු අගයන් සඳහා වන ගෙවීම් පිණිස PayPal හොඳ මාර්ගයක් වීමය.

නිදසුනක් හැටියට විදේශිකයකුට වෙබ් අඩවියක් හෝ ග්‍රැෆික්ස් නිර්මාණය කර ගෙන දේශීය තරුණයෙක් එයට ඩොලර් 200 ක ගෙවීමක් ඉල්ලන විට විදේශිකයා ඒ පිණිස බැංකුවකට ගොස් කාලයක් වැය කරන්නට සූදානම් නැත. ඒ නිසා PayPal වැනි සේවාවක් තිබීම අත්‍යාවශ්‍ය වේ.

ලංකාවට PayPal පහසුකම ලබාගැනීම සම්බන්ධයෙන් පැවති සන්ධාන ආණ්ඩුව විසින් වරින් වර කරන ලද ප්‍රකාශ රාශියක් අන්තර්ජාලයේ දැකිය හැකිය.පැවති රජය පැවසුවේ PayPal පහසුකම ලබා ගැනීම පිණිස කටයුතු කරමින් යන බවය. ඒ කටයුතු දේශීය බැංකුවකට පවරා ඇති බවද ඔවුන් තවදුරටත් පවසන ලදී.

තවත් ඒවායේ කියන්නේ දේශීය බැංකු හතරක් ඒ පිණිස වෙහෙසෙන බවය. වසර ගණනාවක් තිස්සේ, මේ හැම අවස්ථාවකදීම පැවති රජය කතා කළේ PayPal පහසුකම අපට අද හෙටම ලැබෙන ආකාරයටය. එහෙත් අද වන විටත් එය ලැබී නැති බව හැම දෙනාම දනිති.

එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත් වූ අවස්ථාවේ සිට මේ ඉල්ලීම අපටද නොයෙක් වර අසන්නට ලැබුණේය. මේ පිළිබඳව සොයා බැලූ අපට දැන ගන්නට ලැබුණේ මාධ්‍ය ඉදිරියේ කයිවාරු ගැසුවා විනා පැවති සන්ධාන ආණ්ඩුව ලංකාවට PayPal පහසුකම ලබා දෙන්නට කිසිම දෙයක් කර නොමැති බවයි.

රටකට PayPal පහසුකම ලබා ගැනීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුය.
1. එරට එක වාණිජ බැංකුවක් හෝ PayPal විසින් ගණුදෙනු කිරීම පිණිස හඳුනාගෙන තිබීම.
2. එරට බල පවත්වන මූල්‍ය රෙගුලාසි PayPal ගණුදෙනු වලට බාධාවක් නොවීම.

පැවති රජය කථා කළේ මේ පළමු කාරණය ගැන පමණකි. එහෙත් තමන්ට වෙනස් කරන්නට හැකිව තිබුණු එහෙත් මේ දීර්ඝ කාලය තිස්සේ නොකළ මූල්‍ය රෙගුලාසි වෙනස් කිරීම ගැන පැවති සන්ධාන ආණ්ඩුව වචනයක් වත් කතා නොකළේය

ශ්‍රී ලංකාවේ බල පවත්වන නීති අනුව ඔන්ලයින් එන මුදලක් ගණුදෙනුකරුවෙකු වෙනුවෙන් භාර ගැනීම පිණිස වාණිජ බැංකුවකට නීතිමය ප්‍රතිපාදන නොමැත. PayPal ලංකාවේදී සක්‍රිය වීමට නම් අදාළ නීති හා රෙගුලාසි වෙනස් විය යුතුය. එය වන තුරු අපට PayPal මඟින් මුදල් ලබා ගත නොහැකිය. දෙවන අවශ්‍යතාවය සපුරා තිබීම පළමු අවශ්‍යතාවය සැපිරීමට අත්‍යාවශ්‍ය කරුණක් වේ.

එක්සත් ජාතික පක්ෂ රජයේ දින මුල් දින 180 ක කාලය තුළ අපට මෙය කළ නොහැකි විය. ඒ කාලය මඳවීම නිසා හා වෙනත් ප්‍රමුඛතා තිබුණු හෙයිනි.

එසේ වුවද අගෝස්තු 17 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ නව රජය බලයට පත්වූ වහාම ඉටු කළ යුතු ප්‍රමුඛ කාර්යයක් සේ PayPal පහසුකම අපේ රටට ලබා ගැනීම හඳුනා ගෙන තිබේ.

මෙය ඔබට අත්‍යාවශ්‍ය කරුණක් බව අපි දනිමු.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>