ලංකාවේ අපිරිසිදුම ආහාරය කොත්තු

null

ශ්‍රී ලංකාවේ අපිරිසුදුම ආහාරය කොත්තු රොටි බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

අප්‍රේල් 7 වැනිදාට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් ආහාර සුරක්‍ෂිත කරමු මැයෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාලයේදී ඊයේ (31දා) පැවැති සම්මන්ත්‍රණයකදී ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

කොත්තු රොටි සකස් කිරීම සඳහා ගන්නා පාන්පිටි රොටි කලින් දිනවල සකස් කර ශීතකරණවල තබා හෝ නොමැතිව අසුරා තිබෙන බවත් කැරපොත්තන් වැනි කෘමි සතුන් පවා ඒ මත ගැවසෙන බවත් කොත්තුව සකස් කරන අවස්ථාව වන විට ඒ රොටි විවිධ විස බීජවලින් සමන්විත වන බවත් ඒ මහතා කීවේය.

කොත්තු රොටි සඳහා යොදා ගන්නා එළවළු යනාදිය පවා කල් ඇතිව කපා තබා ගන්නා බවද ඒවා නිසි පරිදි සෝදනවා දැයි කිසිවකු නොදන්නා බවද පැවැසූ වෛද්‍ය විජයමුණි මහතා එපමණක් නොව බිත්තර කඩා දමන විට බිත්තර කටුවෙහි තැවරී ඇති කුකුල් අසූචි පවා රොටියට වැටෙන බවද සෝදා ජීවානුහරණය කරන ලද බිත්තර යොදා ගන්නේ නම් එවැනි දේ සිදුවන්නේ නැති බවද කීවේය.

නගරයේ බොහෝ ස්ථානවල විකිණීමට තබා ඇති කෑම පාර්සල් හදන්නේ එක තැනකයි. විකුණන්නේ තවත් තැනකයි. ඒවා හදන වේලාව හා ආහාරයට ගන්නා වේලාව අතර පරතරය වැඩි නම් අනිවාර්යයෙන් විසබීජ වර්ධනය වෙනවා. එවැනි ආහාර පවා ලොකු ප්‍රශ්නයක්. විකුණන තැනම ආහාර හදනවා නම් හොඳ යැයිද වෛද්‍ය විජයමුණි මහතා කීය.

අපිරිසුදු භෝජනාගාර වහාම වසා දැමීම සඳහා ආහාර පනත අනුව පවා බලතල නැති බවත් ඒ සඳහා අධිකරණ ක්‍රියා පද්ධතිය පවා කඩිනමින් සිදුවිය යුතු බවත් ඒ මහතා පැවැසීය.
“කොළඹ නගරයේ කුඩා තේ කඩයේ සිට තරු පහේ හෝටල් දක්වා භෝජනාගාර දහසක් පමණ තිබෙනවා. ඒවායින් සියයට 90ක් අවිධිමත් කුඩා භෝජනාගාරයි. එයින් සියයට 75ක් කුලියට හෝ බද්දට ගත් ස්ථානවලයි පවත්වාගෙන යන්නෙ. ඒ නිසා අලුත්වැඩියාව නවීකරණය වැනි කටයුතු කරන්න බැහැ” යැයිද හෙතෙම කීය.

නගර සභාවේ ප්‍රමිතියට අනුව පවත්වාගෙන යන කොළඹ නගරයේ භෝජනාගාර ලියාපදිංචි කර සහතිකයක් මේ වසරේ සිට ලබාදෙන බවද ‘කැන්ටින්’ ලියාපදිංචි කිරීමක් ලබන 7 වැනිදා ආරම්භ කරන බවද ඒ මහතා කීවේය.

මව්බිම පුවත්පත

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>