විජයදාස ෆොන්සේකාගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලයි
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් රුපියල් මිලියන 500ක මුදලක් වන්දි ලෙස ඉල්ලා නඩු පවරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව තමා හොරෙකු ලෙස හඳුන්වමින් කළ ප්‍රකාශය හේතුවෙන් තමාගේ කීර්ති නාමයට හානියක් සිදුව ඇති බැවින් ඊට එරෙහිව නඩු පවරන ලෙස තමාගේ නීතිඥයින්ට උපදෙස් දී ඇති බව හෙතෙම කියා සිටියේ අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඇමතිවරයා කියා සිටියේ සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාෂල් ධූරය ලැබුණු පසු සියල්ල අමතක වී ඇති බවයි.
කෙසේ වුවද මෑත කාලයක සිට ඔහු තමන් හා අමනාපයෙන් සිටින්නේ කාරණා කිහිපයක් මත බවද ඇමතිවරයා හෙළි කළේය.
ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට නොගැනීම, ෆොන්සේකා හා අමනාපයෙන් සිටින කිහිප දෙනෙකු අත්අඩංගුවට නොගැනීම, 2010 ජනාධිපති මැතිවරණයේදී කොම්පියුටර් ජිල්මාට් කතාව සම්බන්ධයෙන් සහය නොදැක්වීම, ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් කර තමන්ට එම ධූරය ගැනීමට සහය නොදීම, මුදලක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් උසාවියකින් දුන් තීන්දුවක් අනූව ක්‍රියා නොකිරීම යනාදී කාරණා ඒ අතර වන බව ඇමතිවරයා පැවසීය.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අධිකරණ අමාත්‍යවරයා වංචාකාරයෙකු බව ප්‍රකාශ කළේ ඔහු ඇවන්ගාඞ් සමාගමෙන් අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා කරමින්.