වෙඩි පහරින් මියගිය පාතාලයේ උක්කුවා
ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවා නමැති පාතාල කල්ලි සාමාජිකයා ඊයේ (26) ඝාතනයට ලක්වුණේ තංගල්ල පොලීසියට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී බව මේ වන විට අනාවරණ වී තිබේ.
ඔහුට එල්ල වී ඇති චෝදනාවන් කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයකට අනුව ඔහුට සෑම ඉරිදා දිනකම තංගල්ල පොලිසියට පැමිණ පොලිස් පොතේ අත්සන් තැබිය යුතු ය.
ඒ අනුව ඔහු ඊයේ දිනයේ තංගල්ල පොලීසියට ගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ ආපසු පැමිණෙමින් සිටියදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර පලාගොස් ඇත. සිද්ධියෙන් ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
හිරු නිව්ස් වාර්තා කරන පරිදි මියගිය නිලූක ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වූ පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර තිබේ.
2014 වසරේ ජුනි මස 4 වනදා තංගල්ල බස් නැවතුම්පොලේදී පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණ අතර ඊට චෝදනා එල්ල වූයේ මියගිය පුද්ගලයාටයි. එමෙන්ම තංගල්ල අධිකරණය ආසන්නයේදී ද ඊට පෙර පුද්ගලයෙකු ඝාතනය කෙරුණු අතර එයට ද මියගිය නිලූක ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවා නමැති මෙම පුද්ගලයාට චෝදනා එල්ල විය. කෙසේ වෙතත් පසුව ඔහුව සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර මීට මාස කිහිපයකට පමණ පෙර ඔහු ඇප මත මුදා හැර ඇත.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මේ වන විය හඳුනාගෙන තිබෙන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.