වෙලේ සුදාගේ නංගි පොලීසියට කොටු කරගත් හැටි

null

බඩු ටිකක්‌ මදිවුණා. ඒවත් අරගෙන ඉක්‌මනට බොරැල්ලට එන්න යෑයි මත්කුඩු ග්‍රෑම්ස්‌ 40 ක්‌ සමඟ බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියේ උපදෙස්‌ පරිදි වෙලේ සුදාගේ නංගිට එසේ දුරකථනයෙන් දැනුම් දුන් මොහොතේ ඇය මත්කුඩු පාර්සලය ඉනේ ගසාගෙන බොරැල්ලට පැමිණියේ යෑයි මෙම වැටලීම මෙහෙයවූ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

වෙලේ සුදාගේ නංගී මෙසේ පැමිණ ඇත්තේ බස්‌ රථයකිනි. කාර් එකේ පැමිණියහොත් පොලිසියට කොටුවේවි යෑයි සිතා ඇය මෙසේ බස්‌රියෙන් පැමිණ තිබේ.

මත්කුඩු ජාවාරම් පිළිබඳව වෙලේ සුදාගේ පවුලේ පිරිසක්‌ පොලිsසියට අවශ්‍යව සිටි අතර ඔහුගේ මවත්, නැගණියත් කාලයක්‌ තිස්‌සේම උන්හිටි තැන් අතහැර ගොස්‌ තිබිණි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක්‌ කුලියට ගෙන වෙලේ සුදාගේ නැගණියත් දරුවාත්, මවත්, ඇගේ සැමියා යෑයි කියනු ලබන තැනැත්තාත් පදිංචි වී සිටි අතර නිවසේ කුලිය රුපියල් හතළිස්‌දාහක්‌ පමණ වන බව බොරැල්ල පොලිසිය කියයි.

මෙම නිවසේ අයිතිකරු ඔවුන් ගැන සැක නොසිතා මෙසේ නිවස කුලියට දී තිබේ.

වැටලීම සිදුකළ බොරැල්ල පොලිසිය මේ පිළිබඳව අපට විස්‌තර කළේ මෙසේය.

“අපි මුලින්ම කාන්තාවක්‌ අල්ලා ගත්තා. ඇය ළඟ මත්කුඩු ග්‍රෑම් 60 ක්‌ පමණ තිබුණා. ඇයගෙන් ප්‍රශ්න කරද්දී වෙලේ සුදාගේ නැගණියගේ සැමියා බව කියන තැනැත්තා ගැන හෙළිවුණා. ඒ අනුව මත්කුඩු ග්‍රෑම් 40 ක්‌ වාහනය සමඟ ඔහු අල්ලා ගත්තා. ඔහුගෙන් දිගටම අපි ප්‍රශ්න කළා. එයා කිව්වා මිනුවන්ගොඩ ඉඳලා කුඩු ගේනවා කියලා. පස්‌සේ කිව්වා වෙලේ සුදාගේ නංගි තමයි මේ බිස්‌නස්‌ කරන්නේ කියලා.”

වෙලේ සුදාගේ නැගණිය අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙළිවන තොරතුරු අනුව මාස තුනක පමණ කාලයක්‌ තිස්‌සේ ඇය සිය ජංගම දුරකථනයෙන් පුද්ගලයන් තිස්‌දෙනකු පමණ පිරිසක්‌ සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව සබඳතා පවත්වාගෙන ගොස්‌ ඇතැයි හෙළි වී ඇත.

වෙලේ සුදා පොලිස්‌ භාරයට ගැනීමෙන් පසු ඇය මෙම ජාවාරම දිගටම කරගෙන ගොස්‌ තිබේ.

මේ අතර ඇය සමඟ දුරකථන සබඳතා පැවැත්වූ පිරිසකගෙන් දෙතුන් දෙනකු විදේශිකයන් බව අනාවරණය කරගෙන ඇත.

මේ අතර ඇය සහ ඇගේ පවුලේ අය මිනුවන්ගොඩ පදිංචියට ගොස්‌ ඇත්තේ මාස තුනකට උඩදීය. ඇය සමාජසේවා කාන්තාවක්‌ වශයෙන් ද ප්‍රදේශයේ ක්‍රියා කර ඇත. ඇයට මිනුවන්ගොඩ නිවස කුලියට ලබාදීම සඳහා මුල් වූ පුද්ගලයකු පිළිබඳව ද රහස්‌ පොලිසිය විමසිල්ලෙන් පසුවෙයි.

(දිවයින)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>