ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශික සරණාගතයින් ගණන ඉහළට
ආරක්ෂාව සහ සරණාගත භාවය පතා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 2013 – 2014 කාලය තුළ මෙරට රැකවරණය පතන විදේශිකයින්ගේ සංඛ්‍යාව සියයට 700කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ 2013 වසරේ සිට මේ දක්වා කාලය තුළ ආරක්ෂාව සහ සරණාගත භාවය සඳහා මෙරටට පුද්ගලයින් 1970 දෙනෙකු පැමිණ ඇති බවයි. එසේම එම කාලය තුළ විදේශිකයින් 308 දෙනෙකුට මෙරට සරණාගතභාවය හිමිව තිබේ. දැනට සරණාගත භාවය අපේක්ෂා කරන පුද්ගලයන් සැබෑ සරණාගතයන් ලෙස සැළකිය හැකිද යන්න ගැටළුවක් වී ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කර ඇත.
මෙලෙස සරණාගතයින් ලෙස වැඩිපුරම මෙරටට පැමිණෙන්නේ පකිස්ථාන සහ ඇෆ්ගනිස්ථාන ජාතිකයින් බව වාර්තා වී ඇති අතර එම රටවල පවතින අනාරක්ෂිත භාවය, සෞඛ්‍ය ගැටළු හේතුවෙන් විශාල පිරිසක් මෙරට සරණාගතභාවය අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටි. කෙසේ වෙතත් මෙලෙස පැමිණෙන පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සැපයීම මේ වන විට බරපතළ ගැටලුවක් වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මේ හේතුවෙන් ආරක්ෂාව සහ සරණාගත භාවය අපේක්ෂාවෙන් පැමිණෙන පුද්ගලයින් සඳහා එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ අවධානය යොමුවිය යුතු බව එම අමාත්‍යාංශය පවසන අතර මහකොමසාරිස් කාර්යාලය අදාළ පුද්ගලයින්ට සහන ලබාදීමට පියවර නොගන්නේ නම් ඔවුන් රටින් පිටුවහල් කිරීමට සිදුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.