ශ්‍රී ලංකාවේ සැබෑ වෙනසකට අවස්ථාව උදාවෙලා
ශ්‍රී ලංකාවේ සැබෑ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වී ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පවසයි.
ඊයේ (02) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 28 වැනි සැසිවාරය අමතමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
ශ්‍රී ලංකාවේ නව රජය ලබාදී ඇති පොරොන්දු සහ නව යෝජනා ක්‍රියාත්මක කිරීමට ජගත් මානව හිමිකම් කවුන්සිලය සහය ලබාදී ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද හරහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා පවත්වමින් යන බවයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන බවත්, නව රජය පත්වී දින 48 ක් ඇතුළත බොහෝ දෑ සිදුකළ නමුත් ඉදිරියට පැනීමට කඩුලු පවතින බවද ඔහු කීවේය.
ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වාසය තබන ලෙසත්, ශ්‍රී ලංකාවට සහාය දෙන ලෙසත්, ශ්‍රී ලංකාවේ අත් ශක්තිමත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.