සංගා ගැන මහේල කියන කතාව
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවා කුමාර සංගක්කාර බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පවසයි. ඉන්දියාවේ පී.ටී.අයි. ප්රවෘත්ති සේවාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මහේල මේ බව පවසා තිබේ.
බොහෝ පුද්ගලයන් ශ්‍රී ලංකාව බිහිකළ සුපිරි පිතිකරුවා අරවින්ද ද සිල්වා යැයි පැවසුවද අන්තර්ජාතික (ටෙස්ට්/ එක්දින/ විස්සයි20) ශතක 60 ක් සහ අන්තර්ජාතික ලකුණු විසිඅට දහසක් රැස් කිරීමෙන් සංගක්කාර තම විශිෂ්ටත්වය ඔප්පු කර ඇතැයි මහේල සඳහන් කර තිබේ.
එහිදී මහේල පවසා ඇත්තේ යම් පිතිකරුවෙකු ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගවලින් සුපිරි දක්ෂතා ප්‍රකට කරන්නේ නම් ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙකු බවයි. සංගක්කාරගේ ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරග දක්ෂතා ඔහු ශ්‍රී ලංකාව මෙතෙක් බිහිකළ දක්ෂතම පිතිකරුවා බව ඔප්පු කිරීමට හොඳම උදාහරණය යැයි මහේල එහිදී වැඩිදුරටත් පවසා තිබේ.
ඉන්දියාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයෙන් අනතුරුව ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට කුමාර සංගක්කාර තීරණය කර තිබේ.
සංගක්කාරගේ අඩුව පිරවීම අපහසු කටයුත්තක් බව මහේල මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත. එමෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් හොඳ නිදසුනක් බවද මහේල සඳහන් කර තිබේ.