සජීවී වැඩසටහනකදී මාධ්‍යවේදීන්ට වෙඩි
ඇමරිකාවේ, වර්ජිනියාවේදී මාධ්‍යවේදිනියක් සහ කැමරා ශිල්පියකු සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් තිබේ.
ඩබ්ලිව්.ඩී.බී.ජේසෙවන් රූපවාහිනියේ ඇලිසන් පාකර් සහ කැමරා ශිල්පී ඇඩම් වෝඩ් සජීවී වැඩසටහන සිදුකරමින් සිටියදී පුද්ගලයකු ඔවුන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම වෙඩි ප්‍රහාරයෙන් ඔවුන් දෙදෙනා මිය ගොස් ඇත.
බ්‍රිජ්වෝටර් ප්ලාසා සුපිරි වෙළඳ සංකීර්ණයේ සිදුකළ වාර්තා වැඩසටහනක් අතරතුරදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත.
මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ එම රූපවාහිනී ආයතනයේම සේවය කර ඇති වෙස්ටර් ෆ්ලැනගන් නමැති අයෙකි. ඔහු මෑතකදී රැකියාවෙන් ඉවත් කර තිබේ.
ඔහු සේවයෙන් ඉවත් කිරීමට හේතු පවසන අදාළ රූපවාහිනී ආයතනයේ කළමනාකාරවරයා පවසන්නේ, නිතර අසතුටින් සිටි ෆ්ලැනගන් සමග සේවය කිරීම අතිශය දුෂ්කර කාර්යයක් වූ නිසා ඔහු ඉවත් කළ බවයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් අමනාපව සිටි මෙම සැකකරු පලිගැනීම සඳහා වෙඩි තැබීම සිදුකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු වෙඩි තැබීම සිදු කරද්දී ඔහු විසින්ම වීඩියෝ ගත කර තිබෙන අතර පසුව ඔහු එය අනතර්ජාලයට එක්කර තිබේ. ඔහු පළ කර තිඛෙන වීඩියෝවේ හැටියට ඔහු මුලින්ම වෙඩි තබන්නේ නිවේදිකාවටය. අනතුරුව කැමරා ශිල්පියා ඉලක්ක කරන ඔහු දෙදෙනාටම වෙඩි 14 ක් තැබූ බවද පසුව සටහන් කර ඇත.
ඝාතනය සිදු කළ පසු ඔහු සිය වාහනයේ සිට මෙම වීඩියෝ අන්තර්ජාලයට යොමු කරන්නට ඇති බව සැක කෙරේ. අනතුරුව ඔහු වාහනය පදවාගෙන 66 වන අධිවේගී මාර්ගයේ ගමන් කරදද්දී එම වාහනය අනතුරුට පත්ව ඇත. පොලිසියට ඔහු හමුවන විට වෙඩි වැදුණ තුවාල සහිතව ඔහු අනතුරට පත් වාහනයේ සිට ඇත. ඔහු වාහනයේ යන අතර වෙඩි තබාගන්නට ඇතැයි සැක කෙරේ. පොලිසිය වාහනයෙන් ඔහුව එළියට ගෙන බරපතල තත්වයෙන් රෝහල් ගත කර තිබේ.