සිසුවාට සහ එක්දරු පියාට පහරදීම ගැන පරීක්ෂණයක්
සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පාසල් සිසුවාට සහ දෙදරුපියාට කොටදෙණියාව පොලිසියේදී නිරුවත් කර පහරදී වදහිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා 17 හැවිරිදි පාසල් සිසුවාගේ මව සහ විවාහක පුද්ගලයාගේ බිරිඳ අද (2) පස්වරුවේ පොලිස් මූලස්ථානයට පැමිණ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව එම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට පොලිස්පත් එන්.කේ. ඉලංගකෝන් මහතා නියෝග කර තිබේ. එම පරීක්ෂණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙයි.
පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්…
සේයා සදෙව්මි දැරියගේ ඝාතනය පිළිබඳව කොටදෙණියාව පොලීසිය විසින් විමර්ශන ආරම්භ කළ අතර මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳව විමර්ශන සිදු කරන ලදී.
කොටදෙණියාව පොලීසිය විමර්ශන සිදු කරන විට පසුගිය 18 වන දින සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර එම සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
ඔවුන්ගෙන් ලබා ගත් රුධිර සාම්පල් ඩි.එන්.ඒ. පරික්ෂණය සඳහා යැවූ අතර නමුත් එම සාම්පල් සැසදී නොතිබුණ හෙයින් 01 වන දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් විසින් මුදා හරින ලදි.
කොටදෙණියාව පොලිස් ස්ථානයේ නිලධාරින් ඔවුන් දෙදෙනාට පහරදුන් බව පවසමින් ඔවුන් 01 වන දින ගම්පහ රෝහලට ඇතුළත් වන ලදි අනතුරුව අද දින ගම්පහ පොලිස් නිලධාරින් විසින් ඔවුන් දෙදෙනාගේ ප්‍රකාශ ලබා ගන්නා ලදි.
කොටදෙණියාව පොලිස් ස්ථානයේ නිලධාරින් පහරදුන් බවට එම දෙදෙනා කර ඇති පැමිණිල්ල පිළිබදව පුර්ණ පරික්ෂණයක් පවත්වන ලෙසට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වෙත නියෝග කර ඇත.