සුඛෝපභෝගී රථයකින් පැමිණි කොල්ලකරුවන් ගම්වාසීන් නිසා පලායයි
ආයුධ සන්නද්ධව නිවසක් කොල්ලකෑමට පැමිණි පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා දංකොටුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
ඊයේ (18 )රාත්‍රී 9.00 ට පමණ දංකොටුව – පන්නල මාර්ගයේ සුමංගල මාවතේදී සුඛෝපභෝගී මෝටර් රථයකින් ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණ පිස්තෝලයක් පෙන්වා බියගන්වා සිදු කිරීමට ගිය කොල්ලයක් ගම්වාසීන් විසින් ව්‍යර්ථ කර තිබේ.
මෙම කොල්ලය සදහා තිදෙනෙකු පැමිණ ඇති අතර එක් අයෙකු අත පිස්තෝලයක් තිබී ඇති අතර පළමුව ඔවුන් අදාළ ව්‍යාපාරිකයා සහ බිරිඳ සමග පොර බදා තිබේ. එම අවස්ථාවේදී ව්‍යාපාරිකයාගේ බිරිඳගේ සහෝදරයෙකු නිවසේ සිට ඇති අතර ඔහු නිවසින් පිටතට දිව ගොස් ආධාර ඉල්ලා කෑ ගසා ඇති බවත්, ඒ සමගම එක් කොල්ලකරුවෙකු ඔවුන් පැමිණි බව කියන සුඛෝපභෝගී මෝටර් රථයේ නැගී පලා ගොස් ඇති බවත් නෙත් නිව්ස් වාර්තා කරයි.
අනතුරුව ඉතිරි වූ කොල්ලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ව්‍යාපාරික ලෙනාඩ් ජයවර්ධන යන අයට පිහියකින් පහර දී ඇති අතර ඔහු සුළු තුවාල ලබා ඇත. පසුව එම කොල්ලකරුවන් ද නිවසින් පිටතට පැමිණ එම මාර්ගයේ පැමිණි ත්‍රීරෝද රථයකින් පලා යාමටයි උත්සහ දරා තිබෙන අතර එහෙත් එම ත්‍රීරෝද රථය නොනවත්වා ධාවනය කර තිබේ.
එහිදී එක් කොල්ලකරුවෙකු එම ත්‍රීරෝද රථයට වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව විමර්ශනවලදී අනාවරණවී ඇති බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් ගිනි අවි පෙන්වා එම ස්ථානයට එක්වූ ගම්වාසීන් බිය කර ඇති අනෙක් කොල්ලකරුවන් දෙදෙනාද ඉක්බිතිව පලාගොස් ඇති අතර පලාගිය කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව දංකොටුව පොලීසිය කියයි.