සේයා බිත්ති පුරා භූත රූප ඇඳලා – සේයා ඝාතනයේ සැඟවුණු තතු

null

”ටීචර් මට මීට පස්සේ සේයා කියන්න එපා. මම ඒ නමට කැමති නෑ.” ”හොඳයි එහෙනම් ඔයාට මම කියන්න ඕන කොහොමද ?” ඒ සේයාගේ පෙර පාසල් ප්‍රධාන ගුරුතුමිය ඇගෙන් ඇසූ දෙයයි.

”සේයා හරිම දඟයි. එයාට සැරෙන් කිව්වොත් කිසිම දෙයක් කරගන්න බෑ. අපිව මෙල්ල කරගෙන තමයි පන්තියේ ඉන්නේ නිතරම අපේ ආදරය බලාපොරොත්තු වුණා. ලස්සනට හැඩට ඉන්න කැමතියි. වැඩියෙන් පෙර පාසලේ ඉන්න තමයි කැමති. සේයා අඬවන්න අපි අකමැතියි. අඬන්න පටන්ගත්තොත් පැයක් දෙකක් දිගටම අඬනවා. ආච්චි එක්ක තමයි පෙර පාසල් ආවේ. අම්මා, තාත්තා සේයා හිටපු මාස නවයම කිසිම වෙලාවක පන්තියට ඇවිල්ලා නැහැ. සේයාගේ පෙරපාසල් අයදුම්පතට අත්සත් තබන්නේ ඇයගේ මව. මව්පියන් සේයා ගැන සැලකිලිමත් වුණානම් මේ වගේ දෙයක් වෙන්නේත් නැහැ.”

null

”ළමයි ඉන්නව ගෙදරක ජනෙල් ඇරලා ඉන්න සිරිතක් නැහැ. අපි ඉන්නේ දැන් හරි බයෙන් ළමයින්ව හවස හය වනවිට ගේ ඇතුළට අරගෙන දොරවල් ජනෙල් වහගන්නවා.” අහල පහළ දරුවන් ඉන්න මව්වරුන් දැන් කියන්නේ එහෙම කතාවක්.

මීට කලින් මේ ගමේ මෙහෙම දෙයක් වෙලා නෑ. කොණ්ඩයා දවල්ට ගමේ ඇවිදිනවා අපි දැකලා නෑ. කොණ්ඩයාගේ සහෝදරයා ගමට ආවෙත් සේයා මැරුණ දවසේ තමයි.

මහත්තයෝ අපේ ලේලි (සේයාගේ මව) හොඳ නැත්නම් මම තමයි මුලින්ම දන්නේ. මගේ පුතාට (සේයාගේ පියා) තරහ යනවා තමයි. එයාට හැමදේම ළඟට ඕන. කොටින්ම කිව්වොත් අඳින යට ඇඳුමත් දුවගෙන් ඉල්ලන්නේ නැත්නම් තරහා යනවා. ගෙදර එහෙම අඬදබර ඉඳලා හිටලා පොඩියට තියෙනවා. කෑගහ ගන්නවා. (සේයාගේ මිත්තණිය)

මේ කතාවේ ඇත්තම ඇත්ත, නිවැරදි ඝාතකයා කවුද කියන ඒ තිත්ත ඇත්ත සොයාගෙන ගිය ගමනේ සේයාගේ පෙර පාසල් ගුරුතුමිය, සේයාගේ මිත්තණිය වගේම අහල පහළ අය අපට කිව්වේ මේ වගේ දේවල්.

පසුගිය දවස්වල සේයාගේ මරණය අභිරහසක් කියලා කිව්වේ තාමත් ඇගේ සැබෑ ඝාතකයා සොයාගන්න බැරිවුණ නිසයි.

පත්තර, වෙබ් පිටු පුරා ලියලා තිබුණ දේ. ඒවායේ පරස්පරතාවය දැක්කම මට, අපට හිතුණා ඇත්තටම මේ හුටප්පරවල ඇත්ත නැත්ත සොයන්න සේයාගේම ගමටම යන්න ඕන කියලා. ඇත්තටම සේයා සදෙව්මිට මොකද වු‍ණේ? මේ ලිපිය ලියන තුරුත් අභිරහසක් වුණු එහි සැබෑ සුලමුල ඔබට කියන්න අද දෙරණ මට හිතුණ නිසාම එහි යායුතුම කියා මා සිතුවේ කිසිම දෙයක් සම්බන්ධව පූර්ව නිගමනයකින් නොවෙයි.

හරියටම කිසිම දෙයක් දන්නේ නැතිව මේ ගමන ගියේ විවෘත මනසකින්. මට ඕන වු‍ණේ අලුතින්ම සේයාගේ කතාව ලියන්න. තාමත් සැඟවී ඇති දෙයක් ඇත්නම් සොයා බලන්න. කොටින්ම කිව්වොත් තිත්ත ඇත්ත සොයන්න. සේයාගේ මරණය නිර්මාණය කරන්න ප්‍රධාන දායකත්වයක් පළකරලා තියෙන්නේ ඇගේම අම්මයි තාත්තායි කියන එකයි මගේ නිගමනය. එහෙම කිව්වේ සාධක ඇතිව. සේයාගේ ගෙදර සේයා වගේ දරුවෙකුට සුදුසු සාමකාමී පරිසරයක් තිබුණ කියලා කියන්න හරිම අමාරුයි. ගෙදරින් හරියට ආදරයක් ලැබුණා නම් සේයා විටින් විට ආදරය බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඇය දඩබ්බර වෙන්නෙත් නෑ. ඊට කදිම නිදසුනක් තමයි ඇගේ පෙර පාසල. පෙර පාසල් චිත්‍ර පොතේ ඉතාම ලස්සනට චිත්රු ඇඳපු ඇය ආසාවෙන් පෙරපාසල් පැමිණි බව තහවුරු වෙනවා. මේ කියන්නේ ඇය වැඩියෙන් එහි රැඳෙන්න උත්සාහ කළ නිසාම නෙවෙයි. ඇගේ ගෙදර පරිසරය ඇයට අපායක් යැයි මට හැඟු‍ණේ ඇගේ නිවසේ මා දුටු ඇතැම් දසුන් නිසා. අච්චර ලස්සනට පන්තියේ චිත්රහ ඇඳපු සේයා කිසිම චිත්‍ර යක තමන්ගේ පවුල ඇඳලා තිබු‍ණේ නැහැ. ඇගේ හැම‍ පොතකම හැම පිටුවක් ගානේම බොහොම පරිස්සමෙන්, කල්පනාවෙන් මම පිටු පෙරලලා බැලුවා.

සේයා භූතයින් ඇන්දේ ඇයි ?

ඕනෑම ළදරුවෙක්, ළදරු පාසලේ පොතක අම්මා, තාත්තා, අක්කා, නංගි, අයියා කියලා අඳින චිත්‍ර, අපේ පවුල මේවා සේයාගේ චිත්‍රවල නොතිබුණ නිසාම නෙවෙයි. ඇගේ නිවසේ බිත්තිවලත් අතින් ඇඳලා තිබුණ දේත් ඔබ දැක්කොත් ඔබ මවිත වෙයි. ඇය ඇගේ වයසට ඇඳලා තිබු‍ණේ භූත රූප. බිත්තිය පුරාම විශාල සහ කුඩා භූත රූප ඇඳලා තිබුණා.

null

ඒ නිවසේ එහෙම බලනකොට කුඩා දරුවෙකුට ඉන්න පරිසරයක් තිබුණ බවක් මට පෙනු‍ණේම නැහැ. හරිම ගුප්ත, කළුවර කුඩා වපසරියක් තුළ අපිළිවෙළ අපිරිසිදුකම හැමතැනම. ඇය ගෙදර ඉන්න වැඩිය ආශාවක් නැති බව ඉතාම පැහැදිලිවෙන්නේ එයින්.

මම තාමත් හිතන්නේ සේයාගේ ඝාතකයා තාමත් අපි අතර. ඇගේ ඝාතකයා කොණ්ඩයාවත්, කොණ්ඩයාගේ සහෝදරයාවත් කියලා මට තාමත් හිතෙන්නේ නැහැ. ගමට ගිය අපට ඒ සඳහා තිබුණ සාධක පේන්න තිබු‍ණෙත් නැහැ.

එහෙත් මේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෑම සැකකරුවෙක්ගේම කෙළවර වු‍ණේ ඉන් නිදහස් වීමෙන්. මුලින්ම 17 හැවිරිදි පාසල් සිසුවාත්, 35 හැවිරිදි එක්දරු පියාත් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කෙරුණා. ඉන් අනතුරුව කොණ්ඩයා නම් තරුණයෙක්, පසුව ඔහුත් සැකෙන් නිදහස්. දැන් ඔහුගේ සහෝදරයාව අත්අඩංගුවට අරන්. සේයාගේ ගෙදර බල්ලා ඉතාමත් කම්පනයට පත් වූ බව ඉතාම හොඳින් පෙනී ගියා. මෙයත් මට මහත් කුතුහලයක්.

මේ සියල්ල පසෙකලා අප සේයාගේ සැබෑ සත්‍යය සොයා ඇගේ නිවසට ගොස් සිටින විට අපට දැනගන්නට ලැබු‍ණේ ඔහුගේ පියාවන බී. උපුල් නිශාන්ත, ඩී එන් ඒ පරීක්ෂණයට ලක්කිරීමට සී අයි ඩී ය අධිකරණයෙන් නියෝග ලබාගැනීමයි.

null

දැන් නැවතත් සැකය ඇගේ පියා වෙත ඇවිත්. එය කුතුහලය දනවන සැකයක්.

ඇත්තටම ඇගේ පියා ගැන නැවතත් සැකයක් මතුවෙයිද ?

සැකය කෙසේවෙතත් තවමත් ජනතාවට ඇති සැකය නම් සේයාගේ සැබෑ ඝාතකයා කවුද යන්නයි. තත්ත්වය එසේ වුවත් සේයාගේ අභිරහස් මරණය තවමත් අපට ප්‍රේහේලිකාවක්, අපට විතරක් නෙවෙයි, පොලීසියටත් සී අයි ඩීයටත්. ඇගේ මිත්තණියටත් අසල්වැසියන්ටත්. කොටින්ම කියතොත් මුළු රටටම දැන් ප්‍රහේලිකාවක්.

ඒ ගැන සිතමින් තමයි මමත්, සුමුදු මහීල, සම්පත් රණසිංහ, නිශාන්ත දිසානායක යන අප ඇයගේ ගමට පය තැබුවේ. මට හිතු‍‍ණේ මේ කතාව මුලින්ම පන්සලින්ම පටන් ගන්න ඕන කියලා. මම රියදුරාට මුලින්ම කිව්වේ යමු පන්සලට කියලා. ඒත් පන්සලේ ස්වාමීන් වහන්සේ පිරිවෙනට වැඩලා එන්නේ හවස් වෙලා, එහි ලැගුම්ගෙන සිට සේවකයා අපට පැවසුවේ. පන්සලේ ප්‍රධාන ස්වාමීන් වහන්සේත් නොමැති නිසා, අප ඊළඟට ගියේ ගමේ ග්‍රාම සේවක මහත්තයා මුණගැහෙන්න. එදා ඔහුත් නැතිබව අපි ගමේ සමූපකාරයේ වැඩකරන අයගෙන් දැනගත්තා. අපි අපේ උත්සාහය අත්හලේ නැහැ. පළාතේ සමෘද්ධි නිලධාරියා හමුවෙන්නට තීරණය කළා. ඒ ඇය මේ පවුල් සමග නිරන්තර සම්බන්ධයක් තිබෙන නිසා බව මෙන්ම එය ඇයගේ වෘත්තියේම කොටසක් වන නිසාවෙන්. ඇයව මුණ ගැසුණු අපට තවත් විස්තර රාශියක් සේයාගේ පවුල පිළිබඳවත්, කොණ්ඩයාගේ පදිංචිය පිළිබඳවත්, කොණ්ඩයා අනවසර පදිංචිකරුවෙක් බවත්, සේයාගේ මවගේ රැකියාව පිළිබඳවත් තොරතුරු රාශියක් සොයා ගැනීමට හැකිවුණා. ඒ විතරක් නෙවෙයි සේයාගේ පෙර පාසල වෙත යන්නටත් ඇගේ පෙර පාසල් ගුරුවරිය හමුවන්නත් තීරණය ක‍ළේ ඉන් පසුවයි.
අප සේයාගේ පෙර පාසල් ගුරුතුමිය සොයා යන විට ඇය පෙර පාසල නිමවී තවත් කුඩා දරුවෙකු සමග මග පැමි‍ණෙනු දුටුවා.

ඇත්තටම අපට මේ ගුරුතුමියගෙන් කරුණු විමසීමෙන් මේ සේයාගේ කතාව ලියන්නට බෙහෙවින්ම ලෙහෙසි පහසු වුණා. මොකද සේයාගේ හදවතේ තැන්පත්වූ නිවස මේ පෙරපාසල බව මට වැටහු‍ෙණේ පෙරපාසල් ගුරුතුමිය අප සමග පැවසූ කරුණු වලින්.

null

”ටීචර්, මම ලස්සනයිද ?” සේයා නිරතුරුවම දෛනිකව ඇගේ ගුරුතුමියගෙන් අසන පැනයක්.

”සේයා හරිම ආසයි ලස්සනට අඳින්න. හැබැයි හරිම සැරයි. අනිත් ළමයි බයකරගෙන පන්තියේ ඉන්නේ. වැඩ හරිම ලස්සනයි. පිළිවෙළයි. හැබැයි සේයාට වැඩියෙන්ම අවශ්‍ය වු‍ණේ ”ආදරය”. ඇයට එය නිවසින් නොලැබුණු බවක් පෙනෙන්නට තිබුණා. කවදාවත්ම සේයාගේ අම්මායි තාත්තයි මොන්ටිසෝරියට ආවේ නෑ. ආච්චි තමයි හැමදේටම ඉදිරිපත් වුණේ.”

එවිටම මම සේයාගේ මොන්ටිසෝරියට ඇතුළත් කිරීමේ ඇප්ලිකේෂන් එක තියෙනවද කියලා ඇහුවා. සේයාගේ උප්පැන්න සහතිකය තියෙනවාද ? මට ඉබේටම ඇහුණා. උප්පැන්නය සොයාගන්න බැරිවුණත් ඇයගේ මොන්ටිසෝරි ඇතුළත් කිරීමේ ‍ෆෝම් එක මට ගුරුතුමිය දුන්නා. සේයාගේ මව තමයි ඇගේ භාරකරු ලෙස අත්සන් තබා තිබු‍ණේ. සේයාගේ නම සඳහන්ව තිබු‍ණේ බලදරගේ සේයා සදෙව්මි බක්මීදෙණිය කියලා. ඇගේ මවගේ නම එම්.ඒ. සමන්ති රේණුකා.

null

ඇය වෘත්තියෙන් පේෂකර්ම උපදේශිකාවක්. පියාගේ නම හැටියට එහි තිබු‍ණේ බී. උපුල් නිශාන්ත. ඔහුගේ රැකියාව හැටියට තිබු‍ණේ ගුරු වෘත්තියයි. ඒ මීගමුව හරිස්චන්ද්රල ජාතික පාසලේ. මේ තියෙන්නේ සේයාගේ අමතක වෙලා ගිය වතුර බෝතලයයි. මොන්ටිසෝරි ටීචර් මගේ අතට බෝතලය දුන්නා. මේ වතුර සේයාගේ යාළුවෝ බෙදාගෙන බිව්වා සේයාව මතක් වෙන්න කියලා. මේ සේයාගේ පුටුව. සේයා මේ පුටුවට කිසිම කෙනෙකුට වාඩි වෙන්න දෙන්නේ නෑ.

‘‘මහත්තයෝ මේ තියෙන්නේ සේයාගේ පොත්පත්. ඇය අප ළඟ සේයාගේ මාස 9ක කාලයක් තුළ පෙර පාසලේ වැඩකරපු පොත් ටික දිග හැරියා. ඒ පොත්වල ඉංග්‍රීසි අකුරු ඇඳලා තිබුණා. චිත්‍ර පොත් වල තිබුණු වර්ණ දුටු මට සිතු‍නේ සේයා ඉතාම පිළිවෙළට වැඩකරන හොඳ බුද්ධිමත් දරුවෙක් කියලා. ඇය බොහෝවිට වර්ණ ගලපාගෙන තිබු‍ණේ අපූරුවට. බොහොම සරල ලා වර්ණ ඇය ප්‍රිය කළ බව මට පෙනුණා. ලා කොළ, නිල්, රෝස, තැඹිලි, කහ වැඩියෙන්ම තිබුණා.

‘‘ටීචර් මට සේයා කියන්න එපා‘‘
නමුත් ඇගේ චිත්‍ර පොතේ පරිසරයට සම්බන්ධ චිත්‍ර රාශියක් තිබුණා. නමුත් පවුල සම්බන්ධ කිසිම චිත්‍රයක් ඒ පොත්වල නොතිබීම මටත් ප්‍රශ්නයක් වුණා. මට ඊටත් වඩා ප්‍රශ්නයක් වු‍ණේ මොන්ටිසෝරියේ ඉතා ලස්සනට චිත්‍ර ඇඳපු සේයා, ගෙදර බිත්තිවල ඇඳ තිබු‍‍ණේ බලි භූතයින්. කළු පාටින් ඇගේ නිදන කාමරය ඉදිරිපිට ඇඳ තිබුණ විශාල භූත රූප, මා මදක් භීතියට පත්කළා.

null

කුඩා දරුවෙකුට මේ භූත රූප ගෙදර පමණක් ඇඳීමට වූ වුවමනාව. යම් විටක ටී වී එකේ කාටුන් චිත්‍රඳ වල භූතයින් ඇන්දාද ? නොඑසේනම් ඇයගේ ගෙදර පරිසරය ඇයටම එපා වුණු තත්ත්වයක ඇගේ ළපටි සිතට ආ හැඟීම් විය හැකිද ? මා හෝ මගේ කණ්ඩායම අතර මනෝ විද්යානඥයෙකු නොවුණත් පාසල් අවදියේ චිත්‍ර කලාව, වසර ගණනාවක් හැදෑරූ මා හට සේයා මෙලෙස භූතයින් ඇඳීම මදක් ඇයගේ චෛතසිකයන්ට ලැබුණු සිද්ධින් බව බැහැර කළ නොහැකියි. මගේ ස්ථාවරය එසේ වන්නේ සේයා මිය යන්නට ‍දින කිහිපයකට පෙර සේයා ඇගේ ගුරුතුමියට පැවසූ දෙයක්. ”ටීචර් මම සේයා නමට කැමති නෑ. මට මීට පස්සේ තිසර කුමරිය කියන්න”

null

‘‘අසල්වැසියන් සිටින්නේ බියෙන්‘‘
ගුරුතුමිය පමණක් නෙවෙයි සේයාගේ මොන්ටිසෝරියට පැමිණි අන් දරුවන්ගේ මව්පියන් පැවසුවේ ඇත්තටම මොන දෙමව්පියන්ද ? ගෙදර ජනෙල් ඇරගෙන නිදාගන්නේ. මේ දරුවා ගැන කිසිම සැලකිල්ලක් දක්වලා නැහැ.

ප්‍රශ්නය ඒක නෙවෙයි සේයාගේ සැබෑ ඝාතකයා තවමත් නිදැල්ලේ නිසා ගමේ අනිත් කුඩා දරුවන් සිටින අසල්වාසීන් වැඩියෙන් ඉන්නේ ඉමහත් භීතියෙන්.

මහත්තයෝ අපි හය වෙනකොටම ගෙවල් දොරවල් වහලා ඇඳන් යට බලලා තමයි ගෙදර ඉදිරි වැඩ කරන්න පටන් ගන්නේ. ඒ ගමේ තිදරු මවක් වන ඉතාම රූමත් වයස 31 පමණ වන අනෝමාගේ වචනයයි.

කොණ්ඩයා කාමාතුරයෙක් නම් ගමේ සිටින ඉතාම රූමත් කාන්තාවන් ගණනාවක් අපට ඔහු පිළිබඳ සඳහා බිය ජනක කතා කියනු නියතයි. නමුත් මේ කිසිවෙක් කොණ්ඩයා ගැන ඇහුවේ සේයාගේ මරණයෙන් පසුවයි. සේයාගේ ගමේ බොහෝ රූමත් තරුණයින් සිටිතියි අප කිසිවිටෙක සිතුවේ නැත. ‍එහෙත් සේයාගේ නිවසත් පිහිටියේ හුදකලා පරිසරයකම නොවෙයි. සවසට අම්මලා තම දූ පුතුන් සමග බයිසිකල් පැදීම ගමේ සුලබ දසුනක්. ඉතින් මීට පෙර කොණ්ඩයාගේ බැල්ම ගමට තිබු‍ණේ නම් මේ ගමේ එවන් ප්රිශ්නයක් කලින්ම ඇති වීමට ඉඩ තිබුණා. ඇතැමෙක් කිව්වේ එයයි.

මෙතරම් රූමත් කතුන් ඉන්න ගමේ කොණ්ඩයා සේයා සොයාගෙන යාමම විශ්වාස කළ නොහැකි දෙයක්. මේ කියමන සනාථ වන්නේ කොණ්ඩයා සිටි නිවස, ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරී මහතා මා සමග පැවසුවේ කොණ්ඩයා කියන කෙනා ගමේ අයට කරදරයක් ක‍ළේ නෑ. හැබැයි ගෑනු නාන තැන්වල ගෙවල්වල ඉන්න ගෑණු දැක තෘප්තිමත් වීම මොහුගේ අංගයක් වී තිබුණ බව අපට ලැබී ඇති තොරතුරුවලින් දැනගන්නට ලැබුණු නමුත් කොණ්ඩයා අතවරයක් කළ කෙනෙක් ගමේ සිටියේ නැහැ, ඒ පොලිස් රාලහාමිගේ වදන්.

කොණ්ඩයා තවදුරටත් දවල් කාලයේ දැකලා නැහැ. අපට කිසිම කරදරයක් නෑ කොණ්ඩයාගෙන් යැයි ඉන්ගම්මාරුව ගමේ (ඕතරවත්ත) අනවසර පවුල් 25 ක් විතර සිටින වත්තේ කෙනෙක් කිව්වේ. කොණ්ඩයා කිසිවිටෙක තමන්ට කරදරයක් නොවූ බවයි.

සේයා අතුරුදන් වී ඇති දිනයට පසුදින පොලීසිය එම ගමට යන විටත් රාත්රීර 10.30 ට පමණ කොණ්ඩයා එම නිවසේ සිටි බව අවට ගමේ අයත් තහවුරු කළා. පොලීසියත් තහවුරු කළා.

null

අපි ඊළඟට ගියේ සේයා පදිංචිව සිටි නිවසටයි. සත්තකින්ම එහි යන විටත් ඇගේ මිත්තණිය දුටු අත බලාගෙන සිටිනු අප දුටුවා. අප නිවසට ගියත් ඇයට අප ගිය වගක්වත් නොතේරු‍ණේ ඇගේ මනසේ සේයා වූ බව පෙන්වමින්.

අප අපගේ අනන්යුතාව කියූ විට ඇය වක්කඩේ ඇරියා වගේ මේ කතාව කියාගෙන ගියා.

අනේ මහත්තයෝ අපට අපහාස කරන්න එපා. අපිට පාඩු‍වේ ඉන්න දෙන්න. දරුවා නැති පාඩුව වේදනාව තියෙන්නේ අපට. අපට කොහොමහරි ‍ඕන මේ දරුවා මැරුවේ කවුද කියලා දැනගන්න. දැන් බලන්න සැකෙට වයස 17 දරුවෙක්ව ගත්තා. දැන් ඒ මිනිස්සු අපිත් එක්ක තරහා වෙලා. අපි මොනා කරන්නද ? කොණ්ඩයා ඉස්සර කිව්වා මැරුවා කියලා ඉතින් දැන් වෙන දෙයක් මහත්තයෝ. ඇයි අපට මෙහෙම කරන්නේ. මරපු කෙ‍නා අපට අල්ලලා පෙන්නන්න කියන්න. නිකන් අපේ පුතාට, ලේලිට අපහාස කරන්න එපා. දරුවාගේ මර‍ණෙ අවසන් දවසේ වලලපු තැන දැකගන්නවත් අපට බැරිවුණා. සමහරු අපි දරුවා මරාගත්තා කියලා අපිව ‍ගේ ඇතුළට දාලා ගිනි තියන්න හිටියේ ගාල්ල මාතර හම්බන්තොට අනුරාධපුර පැත්තෙන් ආපු අය. මාධ්‍යවල පසුගියා දවස්වල අපේ පවුල ගැන සැක උපදවන විදිහට ලියපු නිසා තමයි මේ ‍ඔක්කොම අපට වු‍ණේ. මහත්තයෝ මගේ ලේලිට වෙන සම්බන්ධයක් තිබුණා නම් මට හොරා කරන්න බෑ. මගේ පුතා (සේයාගේ පියා) රට හිටියලු මහත්තයෝ. පාස්පෝට් එකක්වත් හදලා නෑ මහත්තයෝ. තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවාව මෙහෙම වද දීලා මරන්න පුළුවන්ද ? මේ පත්තරවල අය එක එක ඒවා පැතිරුවට මහත්තයෝ ඔයාලාවත් ඇත්ත කියන්න. මොන ගෙදරද රණ්ඩු නැත්තේ. මගේ පුතාට හරියට තරහා යනවා. හැමදේම අතට පයට දෙන්න ඕන. ඉතින් දුවට කෑ ගහනවා. පොඩ්ඩ එහා මෙහා වුණාම.

නමුත් ඒ කතාව එතනින්ම අවසන් වෙනවා. අනික මුදල් ගැන තමයි ඊළඟට රණ්ඩු වෙන්නේ. ඕනෑම දුප්පත් පවුලක ඔහොම දේවල් වෙනවා. නමුත් මේ පත්තරවල තිබුණ විදිහට ලේලියි පුතයි අතර මේ ලොකු ආරවුල් තිබු‍ෙණේ නැහැ. මොන පවුලද සුළු රණ්ඩු නොවෙන්නේ? දැන් ඉතින් මේ අයවත් මෙහේ එපා වෙලා දරුවා මතක් වෙන නිසා වෙන දිසාවකට ගිහිල්ලා. ගෙදර ඉන්න කොට දරුවා මතක් වෙනවා. මමත් රෑට අහල පහළ ගෙයකට යනවා නිදා ගන්න. මටත් ඉන්න බෑ දුකයි.

එසේ සේයාගේ මිත්තණිය අප කිසිවක් අසන්නටත් පෙරම කියාගෙන කියාගෙන ගියේ තරහත් හිතේ දුකත් එකට ගෙන බව අපට පැහැදිලි වුණා.

පොලීසිය නොවන්නට ඇයවත් සේයාගේ මවත් පියාත් සේයාගේ අවමගුල දා ගිනි තබා විනාශ කිරීමට පිරිස් පෙළඹුණත් සේයාගේ ඝාතනයට දෙමව්පියන් සම්බන්ධ බවට මධ්‍යවල ගිය අභූත කතා බව සේයාගේ මිත්තණිය අපට පැවසුවා.
සේයා සමග ඉතාමත්ම ළගින්ම සිටියේ ඇගේ මිත්තණිය බව අපට සෑම සාක්ෂියකින්ම පැහැදිලියි. සේයාගේ පෙර පාසල් ගුරුවරිය පැවසුවේ හැමදේටම පෙර පාසලට පැමි‍ෙණෙන්නේ ඇගේ මිත්තණිය බවයි. සේයා එසේ නම් තම මිත්තණියට මෙසේ ඉතාමත් කුළුපගු වීමත් ඇගේ ලගින්ම සිටි තැනැත්තා මිත්තණිය වූවා නම් දෙමව්පියන්ගේ විය යුතු සේවය මිත්තණියගෙන් ලැබීමෙන් මවත් පියාත් ඇගෙන් දුරස්ථ වූයේද. සේයා එසේ මිත්තණියට ලංවූයේ ඇයි ?

ඇයව දිනපතා පෙර පාසල් රැගෙන ගොස් ඇයව සෝදා කවා පොවා බලාගත් නිසාද ? නැත්නම් මව ඇය වෙනුවෙන් කාලය වැය නොකළ නිසාද ? පියා පාසල් රැකියාවෙන් නැවතී වෑන් රියේ රැකියාවට රාත්‍රී ඇඟලුම් කම්හලක ප්‍රවාහන කටයුතු ක‍ළේ නම් දිවා කාලයේ සේයාගේ වැඩකටයුතු කිරීමට පියාට නොහැකිවූයේ ඇයි ? ඔවුන්ගේ දරිද්‍රතාවය නිසා පියා දිවා රාත්‍රී නොබලා වැඩ සොයා යාමද, ගුරුවරයෙකුව සිටි සේයාගේ පියාහට රැකියාව අහිමිවන්නේ යම් ප්‍රශ්නයක් නිසා බව අපට ඇගේ මිත්තණිය පැවසුවත් ඒ ප්‍රශ්නයට සැබෑ තතු ඇය අපට පැවසුවත් ඇය විසින් එම විස්තර එළි නොකරන ලෙසයි ඉල්ලා සිටියේ. තවත් පාර්ශවයකට හානි නොකරන ලෙසයි.

null

සේයා මවගෙන් හා පියාගෙන් ඈත්ව මිත්තණියට ලං වූයේ ඇයි ? තවමත් අවසන් පිළිතුරු නැති මේ කතාවෙන් දෙමව්පියන්‍ ගේ ආදරය ඇයට නොලැබුණු බවත් රැකවරණය ආරක්ෂාව ඉතාමත් දුර්වල මට්ටමක තිබුණු බවත් නිවස දැකීමෙන් පැහැදිලියි. සේයා මියයන විටත් ග්‍රිල් ඒකක් නොමැති වූ ජනේලයට දැන් යකඩ ග්‍රිල් සවිකරලා. එතෙක් එම ජනේලයෙන් දරුවෙකුත් ඔසවාගෙන කාමරයෙන් එළියට පැනීමට කෙනෙකුට ලෙහෙසියෙන් බැරි බව ජනේලයේ පළල දකින ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. නිදා සිටි සේයා කරපින්නා ගෙන ‍එම ජනේලයෙන් පැන යනු ඉඳිකටුවකින් ඔටුවෙකු රිංගනවා යනු ලෙස මට හැඟින. එම කාමරයේ වපසරිය දුටු විට එහි යමෙකුට සැඟවී සිටීම ඉතාමත් දුෂ්කර සේම නිදා සිටින දරුවෙකු රැගෙන යාම එතරම් පහසු කාර්යයක් වන්නේ ද නැත.

මතු සම්බන්ධයි……

(සේයාගේ ඝාතකයා සොයා අද දෙරණ කළ ගවේෂණයක දිගහැරුම – ෂෙහාන් බරණගේ)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>