හෝකන්දරදී ගුවන් යානයක් කඩාවැටේ
හෝකන්දර – කැතරින් පාර්ක් නිවාස සංකීර්ණය අසල හිස් බිමකට අද (12) අලූයම් කාලයේ ගුවන් යානයක් කඩා වැටී තිබේ. ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුර ලක්ව ඇත.
මෙය සැහැල්ලූ වර්ගයේ මගී ගුවන් යානයක් බව වාර්තා වේ.
අනතුරෙන් යානයේ සිටි නියමුවන් ඇතුළු 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. දැඩි පිළිස්සුම් තුවාල ලැබ බේරාගනු ලැබූ එක් අයෙකු මේවන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කර තිබේ.
අද අලූයම 6.35 ට පමණ මෙම ගුවන් යානය අනතුරට ලක්ව ඇති අතර අධික මීදුම තත්ත්වය හේතුවෙන් යානයේ ගමන් මග අපැහැදිලි බවට එහි නියමුවන් අවසන් වරට දැනුම් දී ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඉන් විනාඩි කිහිපයකට පසු යානය සමඟ තිබු සබඳතා බිදවැටී ඇත.
අද අළුයම මෙම ගුවන්යානය අනතුරට ලක්වන අවස්ථාව වන විට එහි පස්දෙනෙකු සිට ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
යානය කඩා වැටීමත් සමඟ ගින්නක් ද හට ගෙන ඇති අතර නිවාස 3 කට අලාභ හානි සිදුව තිබේ. ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට දැඩි උත්සාහයක නිරත ව තිබෙන අතර පසුව ගින්න නිවීම සදහා පොලීසිය සහ ගිනි නිවන අංශ එක්ව කටයුතු කර ඇත.
ඡයාරූප – නෙත් නිව්ස්