ෆේස්බුක් බීච් පාටි වල ඇත්ත නැත්ත

null

දිනක් මා ඇතුළු මිතුරන් කිහිපදෙනෙක් හික්කා බීච් පාටි විඳගැනීමට හික්කඩුව මුහුදු තීරයේ රංචු ගැසුණෙමු. සහතික වශයෙන්ම එය අපූරු අත්දැකීමකි. බටහිර රටවල ජනප්‍රිය ඩී.ජේ. ශිල්පීන්ගේ දක්‍ෂතාවන් ශබ්දයක් බවට පෙරැළී වොට් දහස් ගණනකින් තියුණු වුණ ශබ්දයක් මුහුදු සුළඟ හරහා විත් හදවතේ කම්පන වාරයන් පවා වෙනස් කරයි. එහි දේශීය සංචාරකයෝද, විදේශීය සංචාරකයෝද බොහොමයකි. එහි පිළිගත් සංවිධායකවරු පිරිසකි. ආරක්‍ෂාවට පොලිසියේ නිලධාරීන් බොහොමයකි. බීර, මත්පැන් විකිණීමට අවරසලත් අලෙවිසල් කිහිපයකි. නමුත් අපට දකින්නට ලැබුණු ප්‍රවෘත්තිය ඒ ආකාරයෙන් සංවිධානය නොවූවකි. එය “ෆේස්බුක්” සමාජ ජාලය හරහා ප්‍රචාරණය කොට මිතුරන් අතරේ කළ ආරාධනාවකි. ෆේස්බුක් සමාජ ජාලයේ සැරිසරන පාසල් සිසු සිසුවියන් ඉලක්ක කර ගනිමින් මෙම සාදයේ ප්‍රචාරණ කටයුතු කර තිබේ. විශේෂයෙන්ම මෙම සාද සඳහා පැමිණෙන වෙනමම තරුණ තරුණියන් පිරිසක් සිටින නිසාවෙන්ම ප්‍රචාරක කටයුතු ඉතා ඉක්මනින් සහ පහසුවෙන් කර ගැනීමට හැකි වීම ෆේස්බුක් වැනි සමාජ ජාල සංවිධායකයන්ට මහඟු පිටුවහලකි.

පසුගිය සතියේ ගල්කිස්ස මුහුදු තීරයේ පැවැති සාදයටද පැමිණියේ අවුරුදු විස්සට අඩු පාසල් අවධියේ තරුණ තරුණියන් පිරිසකි. ප්‍රවේශ පත්‍රයක් රුපියල් එක්දහස් පන්සීයකි. දේශීය මත්පැන් බෝතලයක් රුපියල් තුන්දහසකි. විදේශීය මත්පැන් බෝතලයක් රුපියල් දස දහසෙන් එහා ගිය මිලකි. කෙසේ වෙතත් සංවිධායකයන්ගේ අභිප්‍රාය එක් රැයකින් උපදවන මුදල් ප්‍රමාණයකි. ඩී.ජේ. සංගීත ශබ්දයෙන්, මත්ද්‍රව්‍යවලින් මත් වෙන තරුණ තරුණියෝ පාන්දර ජාමේ වනතුරු නර්තනයේ යෙදෙති. නොසිතූ මොහොතක සුරාබදු නිලධාරීන් මෙම සාදය වටලන්නේ ඒ අවස්ථාවේදීය. මේ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීම සඳහා එදින වැටලීම කළ බත්තරමුල්ල සුරාබදු ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්‍ෂක පී.එන්. හේමන්ත මහතාට අපි කතා කළෙමු.

“එදා ගල්කිස්ස මුහුදු තීරයේ සාද දෙකක් තිබුණා. එකක් තමයි ඔය පාසල් සිසුන් සහභාගි කරගෙන කරපු පාටිය. අපි එතැනට ගියේ බලන්න ආපු අය විදියට. ටිකට් අරගෙන දෙන්නෙක් මම ඇතුළට යැව්වා. ඔක්කොම හිටියෙ අවුරුදු දාහතේ දහඅටේ කොල්ලො, කෙල්ලො. විශේෂත්වය තමයි ඒ අය හැමෝම කොට කලිසමිනුයි, ස්කිනියකිනුයි සැරසිලා හිටියේ. යන හැමෝටම ලොලිපොප් එකක් දෙනවා. අපි යනකොටත් එකම විදියට, එකම වේගෙන් මේ හැමෝම නටනවා. වාහනවල තියාගෙන හොරෙන් මත්පැන් විකුණනවා. අපේ දෙන්නෙක් ඇතුළට ගියේ මත්පැන් අල්ලන්න. හැබැයි මත්පැන්වලට වැඩිය ඒ අය පාවිච්චි කරල තිබුණෙ ටැබ්ලට්. තරුණ, තරුණියන්ට අමතරව බහුතරයක් හිටියේ නපුංසකයෝ. ඒ හැමෝම ලොලිපොප් කටේ ගහගෙන නටනවා. අපිටත් පැය දෙක තුනක් සාදය ඇතුළෙ රැඳෙන්න වුණා. ඊට පස්සෙ තමයි වැටලීම කරල සංවිධායකවරු අත්අඩංගුවට ගත්තෙ.”

මෙය කියවන බොහෝදෙනකුට මෙය අමුතු ආරංචියක් වුවත් ගල්කිස්ස මුහුදු තීරයට නම් එය අරුමයක් නොවන්නේය. ගල්කිස්ස මුහුදු තීරය දිගට තිබෙන බොහෝ අවන්හල් සති පතා, මාස් පතා, වාර්ෂිකව මෙවැනි සාද අනන්තවත් සංවිධානය කරයි. එයින් සමහර සාද දින දෙකක් පුරා පැවැත්වෙයි. සෙනසුරාදා රාත්‍රි දහයට පමණ පටන්ගෙන පසුදා උදය වරුවේද හවස් වරුවේද එක දිගට සාදය පවත්වා ඉරිදා අලුයම වනතුරු පැවැත්වෙයි. වැටලීමට ලක්වූ සාදයේ සංවිධායකවරු එම සාදය පැවැත්වීම සඳහා අවන්හල වෙන්කරගෙන ඇත්තේ එම රාත්‍රියට පමණක් රුපියල් හැටදහසක මුදලක් ගෙවීමෙනි.

මොනවද මේ ටැබ්ලට් (ටැබා)
වැටලීමට ලක්වූ සාදයේ එන හැමෝටම ලොලිපොප් එකක් ලබා දී තිබේ. එම ලොලිපොප්ද මත්ද්‍රව්‍යයක්දැයි සැක සහිත වූවකි. අප සොයාගත් කරුණු අනුව ලොලිපොප් එක විලාසිතාවකි. මත්වීමට ගන්නා ටැබ්ලට්වලින් දිවේ ඉතිරි වෙන තිත්ත රස නැති කරගැනීමටත්, විලාසිතාවක් ලෙසත් ඔවුහු ලොලිපොප් භාවිත කරති. එහි මත්ද්‍රව්‍ය කිසිත් නොතිබුණත් ටැබ්ලට් (ටැබා) මඟින් ඔවුන් එක දිගට පැය දහය පහළොවක මත් ගතියක හිඳියි. සොයාගත් කාරණා අනුව මත් ටැබ්ලට් ලංකාවට පැමිණෙන්නේ යුරෝපීය රටවල් මඟිනි. දැනට එම මත් පෙති විකිණෙන්නේ හොර රහසේය. එය අතින් අත යන ව්‍යාපාරයකි. දැනට ලංකාව පුරා ශීඝ්‍රයෙන් පැතිරෙන මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට පත් නොවන්නේ ඒ නිසාවෙනි. එම මත් පෙති මඟින් මනසේ ඇතිවන වෙනස්කම් බොහොමයකි. එක් එක් මත් පෙති මනසට ගෙනෙන සංඥා වෙනස් කරන්නේ විවිධාකාරයෙනි.

මත් පෙති වැඩිපුරම සහයෝගය දක්වන්නේ සංගීතයට සහ ශබ්දයටය. එයින් “හවුස් මියුසික්” වලට සුවිශේෂී වෙයි. හවුස් මියුසික් යනු ජෑස්, රොක් සේම සංගීත සම්ප්‍රදායකි. සමහර මත් පෙති වර්ග සංගීතය පමණක් මනසට ගෙන එයි. තවත් සමහර පෙති ආලෝකයට මනසේ වැඩි ඉඩක් වෙන් කර දෙයි. එයටත් වඩා මෙම මත් පෙති මඟින් පොදුවේ සිදුවන්නේ මිනිසුන්ගේ තරාතිරම වෙනස් කොට සම තැනක මනස පිහිටුවාලීමයි. ඒ නිසාම මත් පෙත් මඟින් පැය දහයක්, පහළොවක් තරුණ තරුණියන් පාලනය කරයි. ඔවුන්ට බාහිර කිසිදු දෙයක් අදාළ නොවේ. එකම ශබ්දයක එකම ආලෝකයක, එකම නර්තනයක මනසත්, ශරීරයත් දෙකම තියාගනියි. මෙය අයිති වන්නේ රසායනික මත්ද්‍රව්‍ය ගණයටය. මිනිසුන්ගේ මනසේ දත්තයන් වෙනස් කිරීමට මෙම මත් පෙතිවලට හැකියාව තිබේ.

කෙසේ වෙතත් යුරෝපයේ ජනප්‍රිය ඩී.ජේ. ශිල්පීන් සහභාගි වන බීච් පාටිද ඉතා සංවිධානාත්මකව සංවිධානය කරන අවස්ථාද ගල්කිස්ස මුහුදු තීරයේ බොහෝ වෙයි. එයට විදේශිකයෝද, දේශීය තරුණ තරුණියෝද සහභාගි වෙති. අද දවසේ තරුණ තරුණියන් සොයන මෙම තාවකාලික විමුක්තිය උපරිම පැය 10කි. එහෙත් එහි සදාකාලික විමුක්තියක්ද ධර්මයෙහි සඳහන්ය. ඔබ පැය දහයක් භාවනායෝගීව නිහඬව මුහුද දෙස බලා සිටියහොත් එහි ගැඹුර, රළ, වෙරළ, ශබ්දය ඔබට ස්වාභාවික පාඩමක් කියාදෙනු නොඅනුමානය.

මව්බිම ලිපියක් ඇසුරිනි

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>