2015 අයවැයෙන් සහන රැසක්

null

2015 මුදල් වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එය සන්ධාන ආණ්ඩුවේ 10 ව අයවැය වන අතර එය ලංකා ඉතිහාසයේ 69 වන අයවැයයි. පඩි වැඩිවීම්, බදු සහන, පාරිභෝගික භාණ්ඩවල මිල අඩු කිරීම්, ඉතිරි කිරීම් සඳහා ඉහළ පොලී, විශ‍්‍රාමික ප‍්‍රතිලාභ මෙන් ම විවිධ සහනාධාර හා බදු සහන සමඟින් මෙවර අය-වැයෙන් සියලු අංශවලට සහන රැසක් හිමි වී ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස 2015 අය-වැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියේ පසුගිය වසර 10 පුරා ආර්ථික පදනම් සැකසු ආකාරයට බලාපොරොත්තු වූ අභිමතාර්ථයන් වෙත අද රට ශීඝ‍්‍රයෙන් ගමන් කරමින් සිටින බවයි. අය-වැය හිඟය 2016 වන විට 3.85%කින් ද, 2017 වන විට 3.2%කින්ද පහත හෙළීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.

2015 අයවැය ප්‍රකාශයේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කල කරුණු පහත දැක්වේ.

2015 වන විට අමෙරිකන් ඩොලර් 4000ක් වන ඒක පුද්ගල ආදායම වසර 2020දී ඩොලර් 7500 දක්වා වැඩි කරමින් ඉහළමැදි ආදායම් ලබන රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. එසේම කැසිනෝ ශාලා සඳහා ඇතුළුවීමේදී ඩොලර් 100ක බද්දක් අය කිරීමටත්, වාහන සඳහා විශේෂ බද්දක් හඳුන්වාදීමටත් ජනපති යෝජනා කරයි.

නිවාසවල ජල පරිභෝජනයෙන් මුල් ජල ඒකක 25 සඳහා අය කරන මුදල සියයට 10න් අඩු කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.

දේශීය ගොවියා ආරක්ෂා කරනු වස් වී කිලෝවක සහතික මිල රුපියල් 34 සිට 40 දක්වා වැඩි කිරීමටද අස්වනු නෙළන කාලයේදී අල, ලූනු හා මිරිස් සඳහා සහතික මිලක් ලබාදීමටද ජනපති යෝජනා කරයි.

රුපියල් 350 පොහොර සහනාධාරය තවදුරටත් ලබාදීමටත් අපේක්ෂිතය.

දේශීය දියර කිරි ලීටරයක සහතික මිල රුපියල් 60 දක්වා වැඩිකර දේශීය කිරිපිටි කිලෝවක මිල රුපියල් 100න් අඩු කිරීමටත්, දේශීය යෝගට් මිල රුපියල් 3න් අඩු කිරීමටත් අයවැයෙන් යෝජනා කෙරිණි.

පෙර පාසල් ගුරුවරුන් රුපියල් 2500ක දීමනාවක්ද ආයුර්වේද වෛද්‍යවරුන්ට රුපියල් 5000 ක දීමනාවක්ද දීමට යෝජනා කර ඇත.

එසේම ශිෂ්‍යත්ව සමතුන් සඳහා මසකට ලබාදෙන රුපියල් 500 ක ශිෂ්‍යාධාරය රුපියල් 1500 දක්වා වැඩි කිරීමට ද ඒ අනූව එය වසරකට රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩි කිරීමට අපේක්ෂිතය.

තවද සරසවි සිසුන්ට හා උසස් අධ්‍යාපන ආයතන සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 2500 සිට 4000 දක්වා වැඩි කිරීමට 2015 අයවැයෙන් යෝජනා කර තිබේ.

මෙරට සෑම පුරවැසියෙකුම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ජංගම වෛද්‍ය සායන ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක් 2015 අය වැයෙන් වෙන් කිරීමට යෝජනා කරන ලදී.

එසේම වැඩිහිටියන්ට ගෙවනු ලබන දීමනාව රුපියල් 1000 සිට රුපියල් 2000 දක්වා වැඩි කිරීමට 2015 අය වැයෙන් යෝජනා කෙරුණු අතර ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීමට දූ පුතුන් බාරදුන් මව්පියන් වෙනුවෙන් දැනට ලබාදෙන රුපියල් 750 දීමනාව රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ද එම දීමනාව පොලීසියේ හා සිවිල් ආරක්ෂක සේවයේ අයටද ලබන වසරේ සිට ලබාදීමට අපේක්ෂිතය.

රාජ්‍ය‍ සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 15,000 දක්වා වැඩි කිරීමටත් දැනට ලබාදෙන දීමනා සියල්ල වත්මන් මූලික වැටුපට එක් කිරීමටත් ,ජීවන වියදම් දීමනාව ද රුපියල් 2200න් වැඩි කර එම දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට ද යෝජනා කර තිබේ. ඒ අනුව රාජ්‍ය සේවකයෙකුගේ අවම මාසික වැටුප රු.25,000 ක් බවට පත්කිරීමට යෝජනා කර තිබේ.

කනිෂ්ඨ සේවකයන් හා අමාත්‍යංශ ලේකම්වරුන් අතර 1:4.5 අනුපාතය පවත්වා ගනිමින් වැටුප් වර්ධක වැඩිකිරීමට මෙවර අයවැයෙන් අපේක්ෂා කර ඇති බව දැක්වෙයි.

එසේම රාජ්‍ය සේවයේ පහල ශ්‍රේණිවල වෘත්තිකයින්ගේ වැටුප් වර්ධක ඇතුළු ගැටළු විසඳීමටද අයවැයෙන් යෝජනා කර ඇත.

1 වන පරිපාලන සේවයේ නිලධාරීන්ගෙන් වසර 20ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලුම රාජ්‍ය සේවකයින්ට රු.15,000 ක වෘත්තීය දීමනාවක් ගෙවීමටද අපේක්ෂා කරනු ලබයි.

80 ජූලි වර්ජනයෙන් රැකියා අහිමිවූවන්ට මෑතක සිට ගෙවනු ලැබූ රු.5000 ක දීමනාව රු.6000 දක්වා වැඩිකිරීමටත්, එය ලබා ගැනීම සඳහා සලකා මෙතෙක් සලකා බැලූ වයස් සීමාව අවුරුදු 65 සිට 63 දක්වා තවත් වසර 2න් අඩුකිරීමටද මෙවර අයවැයෙන් බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අදාළය සියලුම පොලිස් කොස්තාපල්වරුන් හා සැරයන්වරුන්ට සහන මිලට යතුරුපැදි ලබාදීමට කටයුතු කරන බවත්, එසේම පොලිස් සේවයට අදාළව නවතම ‘සේවා ව්‍යවස්ථාවක්‘ සකස්කිරීමට යෝජනා කර තිබේ.

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වලට අදාළව බදු සහන ලබාදෙන බැවින් ඒවායේ මිල ගණන් 10%න් අඩුකිරීමට කටයුතු කරන මෙන් සාප්පු සංකීර්ණ හා වෙළඳසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

දින 180ක් සම්පූර්ණ කර ඇති අනියම් හා තාවකාලික සේවා පදනම මත සේවය කරනු ලබන සියලුම රාජ්‍ය ආයතනවල සේවකයින් අදාළ තනතුරු වල ස්ථීර කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇති අතර රාජ්‍ය සේවකයින්ට ණය ලබාදීමේදී මෙතෙක් සලකා බලනු ලැබූ මූලික වැටුපෙන් 40%ක ප්‍රතිශතය වෙනුවට එය දල වැටුපෙන් 40%ක් ලෙස සංශෝධනය කර තිබේ.

ඒ අනූව සියලු දීමනාද ඇතුළුව රාජ්‍ය ‍සේවකයින්ගේ අවම මාසික ආදායම රුපියල් 25,000 දක්වා වැඩි වන බව සඳහන්ය.

එසේම සියලූම විශ්‍රාමිකයින්ගේ වැටුප් 2015 විශ්‍රාම වැටුප් ක්‍රමයට අනූව ව්‍යුහගත කිරීමටද අයවැයෙන් යෝජනා කර ඇති අතර සම්පූර්ණ විශ්‍රාම වැටුපෙන් 75%ක ප්‍රමාණයක් විශ්‍රාම ලැබූ දිනට පසු දින වුව ළඟම ඇති බැංකුවකින් ලබාගැනීමට හැකිවන පරිදි බැංකු කාඩ් පතක් නිකුත් කිරීමටද යෝජනා කෙරිණි.

එසේම මුළු විශ්‍රාම වැටුප මාස 3ක් තුළ ගෙවීමට වැඩපිළිවෙළක් සකසන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

වැටුප් හා විශ්‍රාම වැටුප් සැකසීම සඳහා කල් ගතවන බැවින් විශ්‍රාමිකයන්ට මසකට රු.2500ක් හා රාජ්‍ය සේවකයන්ට රු.3000 ක අන්තර් දීමනාවක් දැනට ගෙවන වැටුප් හා අදාළ දීමනාවලට අමතරව 2014 නොවැම්බර් මස සිට ගෙවීමට මෙමගින් යෝජනා විය.

එක් එක් සේවකයන්ගේ වැටුප් හා විශ්‍රම වැටුප් මුළුමනින්ම සකස් කළ පසු අදාළ වැටුප් හා විශ්‍රාම, හිඟ වැටුප් සමග 2015 ජූලි මස සිට මාණ්ඩලික නොවන රාජ්‍ය සේවකයින්ටත්,2015 සැප්තැම්බර් සිට මාණ්ඩලික ශ්‍රේණිවල නිළධාරීන්ටත් ගෙවීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප රුපියල් 10,000 දක්වා වැඩි කිරීමටත් ඔවුන්ගේ සේවක සේවක අර්ථසාධක අරමුදල සඳහා සේවා යෝජකයා විසින් ගෙවනු ලබන සියයට 12ක අරමුදල සියයට 14 දක්වා වැඩි කිරීමටද මෙවර අයවැයෙන් අපේක්ෂිතය.

​සියලුම රජයේ සේවකයින්ට වාරික 10න් පොලී රහිතව ගෙවිය හැකි වන පරිදි රු.10,000 ක ණය සීමාවක් තුළ ජාතික රක්ෂණ අරමුදලේ ඇප සහිතව හදිසි අත්ත්කාරම් ලබා ගැනීමට බැංකු කාඩ්පත් නිකුත් කිරීමට යෝජනා කරන ලදී.

ශෛල්‍ය කර්ම හා බරපතළ රෝග සඳහා රෝහල් ගත වන රජයේ සේවකයන්ට දෙනු ලබන අග්‍රභාර රක්ෂණය රු.350,000 සිට රු.500,000 දක්වා වැඩිකිරීමටද යෝජනා කෙරෙයි.

එසේම 2015 අයවැය යෝජනා මගින් හෙද හා පවුල් සෞඛ්‍ය සේවාවේ නිල ඇඳුම් දීමනාව රු.500 න්ද,අනෙකුත් සේවාවල නිල ඇඳුම් දීමනාව රු.300 න්ද වැඩිකිරීමට අපේක්ෂා කෙරෙයි.

අ.පො.ස උසස් පෙළ සුදුසුකම් ඇති විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා ඇතුළත් නොවන තරුණ තරුණියන් 50000ට ප්‍රාෙද්ශීය හා පළාත් සභාවල තාක්ෂණික සේවාවන්වල මෙන්ම ග්‍රාමීය පළාත්වල කළමනාකරණ හා ගණකාධිකරණ සහායකයින් වශයෙන් බඳවා ගැනීමට අපේක්ෂා කරන අතර මොවුන්ට වෘත්තීය පුහුණු කිරීමේ ආයතන මගින් තෝරාගත් වෘත්තීය සඳහා මාස 6ක වෘත්තීය හා නායකත්ව පුහුණුවක් ලබාදෙනු ලැබේ.

ඒ අය සඳහා මාසිකව රු.8000 ක දීමනාවක් ලබාදෙන බවට අයවැය යෝජනා මගින් පෙන්වාදී ඇති අතර එකී පුහුණුව නිමකිරීමෙන් පසු ස්ථීර තනතුරුවලට බඳවා ගැනීමට කටයුතු කරන බවද සඳහන්ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>